චමල්ගේ නිවසින් වී මලු 15ක් උස්සලා

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ තිස්සමහාරාම, දෙබරවැව, සේනපුර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වූ සොරෙකු එහි තිබූ රුපියල් 55,000ක් වටිනා වී මලු 15ක් සහ විදේශ රටකින් ගෙන්වන ලද විදුලි පංකාවක් සොරාගෙන ගොස් ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසන බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 12 වැනිදා උදෑසන කොළඹ බලා ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී හිටපු කතානායකවරයා ද තවත් පිරිසක් සමඟ කොළඹ බලා ගොස් සිට ඇති බව එහි වාර්තා වනවා.

නිවසේ පිරිස නොමැති වූ මෙම කාලසීමාව තුළ සොරකම සිදුව ඇති බවට සැක කෙරෙන බව පොලිසිය සඳහන් කළැයි එම පුවත්පත පෙන්වා දී තිබෙනවා.

නිවසේ ජනේලයක් විවෘත කර තිබූ ස්ථානයක බිම වැටී තිබියදී රාජ්‍ය බැංකුවකට අයත් ගිණුම් පොතක් පොලිසිය විසින් සොයාගෙන ඇති බවත්, එම බැංකු පොත තිස්සමහාරාම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී ඇති බවත් එහි සඳහන් වනවා.

මේ අනුව, අදාළ බැංකු පොත අයිති පුද්ගලයා විසින් මෙම සොරකම සිදු කරන්නට ඇති බවට තමන් සැක කරන බව පැමිණිලිකරු විසින් පොලිසියට ප්‍රකාශ කර ඇති බව ද ‘දිනමිණ’ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *