“ජනාධිපති ධුරයෙන් ඉවත් වූ වහාම අනුරට එරෙහිව සාපරාධී නඩුවක්”

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව, ඔහු 2029 දී ජනාධිපති ධුරයෙන් ඉවත් වූ වහාම අනිවාර්යයෙන්ම සාපරාධී නඩුවක් පවරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ගංවතුර පාලනය පිළිබඳව ලබා දුන් ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කරන බවයි.

ඔහු එහිදී සභානායක බිමල් රත්නායක ඇමතිවරයා 2016 දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙසේ කීය.

“2016 වර්තමාන සභානායක බිමල් ඇමතිතුමා කියනවා ගංවතුර ඇතිවීම ස්වාභාවික ආපදාවක් වුණත් එමගින් ජනතාවට සිදුවන පීඩාව නැති කිරීම ආණ්ඩුවේ වගකීමක් කියලා. 2024 ජනාධිපතිවරණ වේදිකාවේ කියනවා ගං වතුර පාලනය නවීන තාක්ෂණයට කරන්න පුළුවන් එය නොකර සිටීම මිනී මැරීමක්, අපි බලයට පැමිණි වහා කරනවා කියලා.”

ජනාධිපතිවරයා ගංවතුරේ බැරෑරුම්කම දැන දැනම එය කළමනාකරණය කිරීමට කටයුතු නොකළ බව චෝදනා කරන ගම්මන්පිල මහතා, ඒ නිසා ‘සාපරාධී නොසැලකිල්ල’ යන චෝදනාව යටතේ ජනාධිපතිවරයාට නඩු පැවරිය හැකි බව කියා සිටියේය.

කෙසේ වෙතත්, වර්තමානයේදී ජනාධිපති මුක්තිය (Presidential Immunity) තිබෙන නිසා නඩු පැවරිය නොහැකි බව පිළිගන්නා ගම්මන්පිල මහතා අවධාරණය කළේ, “2029 ජනාධිපති ධුරයෙන් සමුගත්තට පස්සේ සාපරාධී නොසැලකිල්ලට නඩු දානවාමයි. වරද ඔප්පු කිරීමට සාක්ෂි අපි සතුයි.”කියාය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “2035 වෙනකල් සිරගෙදර නිවී හැනහිල්ලේ වාඩි වෙලා ඇයි මම මේ තරම් බොරු කිව්වේ කියලා හිතන්න අපි ඔබතුමාට අවස්ථාව ලබා දෙන බවට අපි පොරොන්දු වෙනවා” යනුවෙනි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *