ජම්පර් නියම වූ පසු අතුරුදන් කියු ඥණසාර හිමි අද උසාවියේ..

ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවකට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (16) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, නඩුව නැවත ලබන සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.

අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම වූ වසර හයක සිරදඬුවමින් මාස නවයක් පමණ ගෙවා දමමින් සිටියදී, 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබා දී තිබූ විශේෂ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් දින කිහිපයකට පසුව උන්වහන්සේ මෙලෙස අධිකරණයට පැමිණීම කැපීපෙනෙන සිදුවීමකි.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රාජගිරිය, නාවල පාරේ පිහිටි ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානය වෙත ගියද, උන්වහන්සේ වැඩසිටින ස්ථානයක් පිළිබඳව තොරතුරක් නොමැති බව එහි සිටි පිරිස් දැන්වූ බව වාර්තා කර විය.

කෙසේවෙතත්, ඥානසාර හිමියන්ගේ පාර්ශවය එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි කිසිදු නිලධාරියෙකු විහාරස්ථානයට නොපැමිණි බවත් උන්වහන්සේ සැඟව සිටින බවට පළවන තොරතුරු අසත්‍ය බවත් අවධාරණය කර ඇත.

ජනාධිපති සමාව අවලංගු කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ නඩු තීන්දුව ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටින බව පොලිසිය වෙනම ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *