හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හිමිකාරිත්වය දරන සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන්ට මාස තුනක් තිස්සේ වැටුප් ද වසර ගණනක් තිස්සේ සේවක අර්ථසාධක අරමුදල ද නොගෙවීම නිසා දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.
ආයතන පාලනාධිකාරිය කම්කරු නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් වසර ගණනක් තිස්සේ සේවකයන්ගේ සේවක අර්ථසාධක මුදල් තැන්පත් කිරීම පැහැර හැර ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවට එම දෙපාර්තමේන්තුවද සදහන් කළා.
වැටුප් හා අර්ථසාධක මුදල් නොගෙවීම උග්‍ර වෙද්දී මව්බිම දිනපතා පුවත්පත වසා දැමීමට පසුගිය මාර්තු 5 වැනිදා පාලනාධිකාරිය හදිසියේම තීරණය කළ අතර මේ නිසා සේවකයන් විශාල පිරිසකගේ හා ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ජීවිත රැසක් අවදානමේ හෙලා තිබෙනවා.
උදා වී ඇති තත්ත්වය ගැන සේවක පිරිස් අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කළ ද ආයතනයේ ගිනුම් අංශය හා මානව සම්පත් අංශය පැහැදිලි පිළිතුරක් දී නොමැති බවයි වාර්තා වන්නේ.
සිලෝන් ටුඩේ මාධ්‍යවේදී මිතුන් ජයවර්ධන විසින් කම්කරු කොමසාරිස්වරයාට කළ පැමිණිල්ලට අදාළ විභාගය පසුගිය 06 වැනිදා පැවැත්වුණද සිලෝන් නිව්ස්පේපර්ස් පාලනාධිකාරිය එයට සහභාගී වීම මගහැර තිබෙනවා.
සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට තවත් දින කීපයක් ඉතිරිව තිබියදී වසර ගණනක් සේවය කළ සේවකයන්ට සිදුකරන මෙම අයුක්තිසහගත සැලකිල්ල ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර ජනමාධ්‍ය ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඊට කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව ඇතැයි ජනමාධ්‍ය සංවිධාන පවසනවා.



