ඩේසි ෆොරස්ට්ගේ මානසික තත්ත්වය පරික්ෂා කිරීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නඩුවකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේදැයි පරික්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායිකාව වයස අවුරුදු අනු අටක තැනැත්තියක් බවත්, ඇය ඩිමෙන්ෂියා සහ ඇල්සයිම නමැති රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවත් ඇයට මෙම නඩුවේ විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් යහපත් මානසික තත්ත්වයක් නොමැති බවට 2017 වසරේ මාර්තු 14 වන දා ගංගොඩවිල දිසා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව මෙම විත්තිකාරයට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත්, ඇය මෙම නඩුවෙන් ඉවත් කිරීම සුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා මීට පෙර අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

ඒ අනුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව අද කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉදිරිපත් කළ අදාල ඉල්ලීම පිළිබඳ සලකා බැලීම සඳහා මෙම විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්වයක පසු වන්නේදැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බව පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයක පසුවන්නේ ද? ඇයට විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් තිබේද? යන කරුණු පිළිබඳව විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

ඒ අනුව පැමිණිල්ල විසින් දැනුම් දෙන දිනයක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් විත්තිකාරියට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව ජනවාරි මස 22 වනදා කැදවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *