“ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ආරක්ෂාව දෙනවා.. රනිල් ගත්තම මොකද..?”

අතිශය බරපතල අපරාධ නඩු සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාග කළ යුතුද යන්න තීරණය කිරීමේ පූර්ණ අභිමතය ඇත්තේ අග්‍රවිනිශ්චයකාරවරයාට පමණක් බවත්, වෙනත් කිසිදු පාර්ශ්වයකට ඒ පිළිබඳ තීරණය කළ නොහැකි බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චයකාරවරයා මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති පසුබිමක, තුන්වන පාර්ශ්වයන් ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම අග්‍රවිනිශ්චයකාරවරයාගේ බලයට කරන අයුතු අතපෙවීමක් සහ අධිකරණයට කරන අගෞරවයක් බව ඔහු සඳහන් කළා.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ මූලික කුළුණ වන්නේ නඩුවක් පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න ස්වාධීනව තීරණය කිරීම බවත්, එම බලය නීතිපතිවරයාට පමණක් හිමි වන්නක් බවත් ජී එල් පීරිස් මහතා පෙන්වාදෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයෙකු යනු දවසේ පැය 24 පුරාම රාජ්‍ය නායකයා මෙන්ම සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වන බැවින්, ඔහුගේ ඕනෑම සංචාරයකදී ආරක්ෂාව සැපයීම රජයේ පැහැර හැරිය නොහැකි වගකීමක් බව ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයෙකුගේ ගමන් බිමන් නිල හෝ පෞද්ගලික වශයෙන් වෙන් කර හඳුනාගත නොහැකි බව පෙන්වාදුන් ඔහු, ජනාධිපතිවරයා කුමන කාර්යයක නිරත වුවද ඔහු රටේ නායකයා වන බැවින්, එම ධූරයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සැමවිටම ආරක්ෂාව සැලසීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වාදෙනවා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයන්හි ආරක්ෂාව වෙනුවෙන් වැය කළ මුදල් පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ විමසීම් කර ඇතත්, එම තොරතුරු මෙතෙක් සම්පූර්ණයෙන් අනාවරණය කර නොමැති බවද ජි එල් පීරිස් මහතා අවධාරණය කළා.

මේ අතර නීතිපතිවරයා කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කටයුතු කළ යුතු අතර, එම ස්වාධීනත්වය පිළිබඳව සැකයක් ඇති වුවහොත් එය මුළු මහත් අධිකරණ පද්ධතියේම බිඳ වැටීමට හේතු වන බව මල් පාරේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන නීතිඥවරු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයෙකු යනු පැය 24 පුරාම රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා බැවින්, ඔහුගේ ගමන් බිමන් නිල හෝ පෞද්ගලික වුවද ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් බවයි.

ලන්ඩන් වැනි නගරවල තවමත් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් සිටින පසුබිමක, රාජ්‍ය නායකයෙකුට ඇති තර්ජන පිළිබඳ තීරණය කළ යුත්තේ ආරක්ෂක අංශ මිස දේශපාලනඥයන් නොවන බවත් ඔහු පෙන්වදෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන් පෞද්ගලික සංචාරවලදී පවා ආරක්ෂක පිරිස සමඟ ගමන් කිරීම මෙහිදී ඔහු උදාහරණ ලෙස සඳහන් කළා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් ලෙස මිලියන 16ක් පිළිබඳව ප්‍රශ්න කරන මෙවැනි වටපිටාවක, මීට පෙර රජයට බිලියන 650ක බදු මුදල් අහිමි කළ පිරිස්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබියදීත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුදායක බව නීතිඥවරු මෙහිදී පවසා සිටියා.

තවද 2010 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් මිලියන 789ක් නිරපරාදේ වැය කළ පිරිස් සම්බන්ධයෙන්ද මෙතෙක් පියවර ගෙන නොමැති බව ඔවුන් පවසනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *