තංගල්ල වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ අඹු සැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

පොලිසිය සඳහන් කළේ මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ විදේශයක සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකු බවයි.

මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ මීටියාගොඩ – කිරලගහවෙල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් පැය 24ක් ගත විමට පෙරයි.

ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ තංගල්ල උනාකූරුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක් තුළදීයි.

ඔවුන් දෙදෙනා අදාළ වෙළෙඳසල පවත්වාගෙන ගොස් ඇති අතර, එහි පැමිණි නාඳුනන වෙඩික්කරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය අඔු සැමි යුවල අවුරුදු 68 සහ 58 හැවිරිදි වියේ පසුවනවා.

මොවුන් දෙදෙනා උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ මාමා සහ නැන්දණියක බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය වෙඩි තැබීම සිදුවූ ස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් දමා ගොස් තිබියදි පොලිසිය ඊයේ සොයා ගෙන තිබුණා.

එමෙන්ම පසුගියදා සීනිමෝදරදී හා තංගල්ලේදී ලොරි රථ 03ක තිබී ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය උනාකූරුවේ ශාන්ත නමැත්තාට අයත් බව හෙළි වූ අතර, ඒ සම්බන්ධ ආරවුලක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත් වෙඩි තැබූ පාර්ශ්වය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති අතර, උණාකූරුවේ ශාන්ත සහ කරන්දෙණියේ සුද්දා අතර කලක සිට ආරවුලක් පවතින බව ද පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වසරේ මේ දක්වා සිදුකළ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 105ක් දක්වා ඉහළ යන අතර ඉන් පුද්ගලයින් 57 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලැබුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *