දඹදිව වන්දනාවේ යන්න ඉන්න ලාංකිකයින්ට ෆ්‍රී වීසා

ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා කඩිනමින් සහ පහසුවෙන් නිකුත් කිරීම සඳහා පවතින ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට සංචාරය කිරීම සඳහා විද්‍යුත් වීසා පහසුකම ද ලබාගත හැකි බවයි.

කෙසේ වෙතත්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා වීසා අයදුම් කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලය ඔස්සේ අයදුම් කර, කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකළපුව යන නගරවල පිහිටි ඉන්දීය කොන්සියුලර් අයදුම් මධ්‍යස්ථාන වෙත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී තිබේ.

බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු වන්දනා ගමන් සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා කඩිනමින් පහසුකම් සලසා නිකුත් කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන අවස්ථාවලදී, වන්දනාකරුවන් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් සඳහා නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

වීසා සේවා සපයන ආයතනය වෙනස් කිරීම හේතුවෙන් කෙටි කාලයක් සඳහා එම ක්‍රමවේදය අත්හිටුවා තිබූ අතර, නව සේවා සපයන්නා 2026 ජූලි 7 වනදා සිට කටයුතු ආරම්භ කිරීමත් සමඟ නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි හඳුන්වා දී තිබේ.

වන්දනාකරුවන් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් වශයෙන් අයදුම් කළ හැකි අතර, ජෛවමිතික දත්ත ලබාගැනීම සඳහා පහසු පරිදි කණ්ඩායමක් ලෙස හෝ තනි තනිව ICAC වෙත පැමිණිය හැකි බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ඉන්දියානු රජයේ නව රෙගුලාසි අනුව වයස අවුරුදු 12ත් 70ත් අතර පුද්ගලයන් සඳහා ජෛවමිතික දත්ත ලබාදීම අනිවාර්ය වේ.

ජෛවමිතික දත්ත ලබාගැනීම හේතුවෙන් ඉන්දියාවට පැමිණීමෙන් පසු ආගමන විගමන කටයුතු වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකි වන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව, ඉහත ක්‍රමවේදය යටතේ අයදුම් කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගෙන් වීසා ගාස්තුවක් අය නොකරන බවත්, එබැවින් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා වීසා ගාස්තු වෙනස් කිරීමක් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවත් එම කාර්යාලය අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, වීසා සේවා සැපයීම වෙනුවෙන් ICAC වෙත රුපියල් 1,855ක සේවා ගාස්තුවක් ගෙවිය යුතු බව ද සඳහන් කර ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *