ද්විත්ව ඝාතක සැකකරු මහනුවර රෝහල් ජනේලෙන් පලා ගිහින්

හැටන් දික්ඔයදී අඹුසැමි යුවළක් ඝාතනය කර සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පල්ලේකැලේ බන්ධනාගාරයට යොමුකර සිටි සැකකරු රෝගී තත්ත්වයක් සඳහා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) අලුයම බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ.

දිවිත්ව ඝාතනය සම්බන්ධයෙන් හැටන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය 24 දින අධිකරණයට ඉදිරිපත් කරන ලද හැලිඇල පදිංචි සෙල්ලයියා මනෝජ් (37) නැමැති සැකකරු හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් ජූනි මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

පොලීසිය විසින් තමන්ට පහරදුන් බවට සැකකරු කළ ප්‍රකාශයක් මත බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ සැකකරු මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 11 ට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇත.

සැකකරු අත්විලංගු ඉවත්කර වැසිකිළියට ගිය අවස්ථාවේ එහි ජනේලයෙන් පැන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ද්විත්ව ඝාතනය සිදු කිරීමෙන් පසු පවුම් 18 ක ස්වර්ණාභාරණද රැගෙන පළාගොස් බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැගව සිටි සැකකරු බගවන්තලාව සහ හැටන් පොලිසි මගින් එක්ව දියත් කළ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

බිරිඳ ලබාගත් ණය මුදලක් ගෙවීම සඳහා ඇගේ බලපෑම මත තමන් මෙම ඝාතනය සහ සොරකම සිදුකළ බවත් ඇප මත නිදහස හිමිවූ දිනක ඒ සම්බන්ධයෙන් බිරිඳගෙන් පළිගන්නා බවත් සැකකරු පොලීසියට පවසා තිබිණි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

සැකකරු පළා යෑම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *