දුම්රිය මාර්ග කිහිපයක් වැසේ

ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හෙට (19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට මහව – අනුරාධපුර මාර්ග කොටස තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසනවා. 

ලබන 26 වන දින සිට මහව – ඕමන්ත දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

තව ද මැදවච්චිය – තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ද හෙටින් ආරම්භ කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. 

මහව – ඕමන්ත දක්වා වන දුම්රිය මාර්ගයේ දුම්රිය පාලම් පහක් නැවත ප්‍රතිස්ථාපනය කිරීමටත් වන අලි ගමන් කිරීම සඳහා ඉදිකළ උමං මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මීට සමගාමීව සිදුකිරීමටත් නියමිතයි.

එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්දට පෙර දුම්රිය මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කර උතුරු – දකුණු ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. 

මීට අමතරව ලබන 20 වන දින සිට ‘පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය’ සහ ‘උදයදේවී’ දුම්රියත් ධාවනය කෙරෙන අතර ත්‍රිකුණාමලය දක්වා ‘රාත්‍රී තැපැල් දුම්රිය’ ගමන් ආරම්භ කිරීමට සැලැසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සඳහන් කළා. 

හෙට සිට අනුරාධපුර – කන්කසන්තුරය දක්වා සහ 27 වැනිදා සිට ඕමන්ත – කන්කසන්තුරය දක්වා ‘යාල්රාණි’ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *