දුෂ්‍යන්ත වීරමන්ට වාරණ නියෝගයක්

ගායන ශිල්පී දුෂ්‍යන්ත වීරමන් මහතාට එරෙහිව “නෙලුම් විලෙන් පැන” යනතය ගායනා කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අද (27) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගීතයේ තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද පැමිණිලිකාර සංගීතඥ රවිහන්ස වැටකේපොත මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම නිර්මාණය වෙනත් කිසිදු තෙවන පාර්ශවයකට ලබා දීම ද මෙම නියෝගය මගින් තහනම් කරනු ලැබුවා.

කෙසේවෙතත් ප්‍රවීණ සංගීතඥ රවිහන්ස වැටකේපොත මහතා විසින් ඉදිරිපත් කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව, වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන්නා.

මෙම තීන්දුව මගින් විශේෂයෙන්ම පෙන්වා දී ඇත්තේ ගීතයක් සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිවෙකුට උල්ලංඝනය කළ නොහැකි පරම අයිතියක් බවයි.

විත්තිකරු විසින් නිසි අවසරයකින් තොරව අදාළ ගීතය තමන්ගේ නිර්මාණයක් ලෙස භාවිත කිරීම හරහා මෙම බුද්ධිමය දේපල අයිතීන් උල්ලංඝනය වී ඇති බව අධිකරණය මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබෙනවා.

පැමිණිලිකාර සංගීතඥ රවිහන්ස වැටකේපොත මහතා වෙනුවෙන් නීතිකා පාර්ට්නර්ස් නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ නුවන් ගොඩගේ මහතා සහ නීතිඥ සඳුන් සේනාධිපති මහතා පෙනී සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වාණිජ මහාධිකරණය විසින් මෙම නඩුව නැවත කැඳවීම 2026 අප්‍රේල් මස 10 වැනිදා සිදු කිරීමට නියෝග කරනු ලැබුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *