හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළා.
මෙම නඩුකරයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සමක අඩංගු කරුණු සැලකිල්ලට ගනිමින්, පෙත්සම්කාර පාර්ශ්වයේ ද එකඟත්වය මත මෙම විභාගය අවසන් කිරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවා.
පසුගිය රජය සමයේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය දෝෂ සහිත බව පවසමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා.
එම පෙත්සම් සලකා බැලූ අධිකරණය, පසුගිය වසරේ ජූලි මාසයේදී දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
පාලන තන්ත්‍රය වෙනස් වීමෙන් පසු, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම නඩුකරයට අදාළව අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම මගින් පවතින නීතිමය වාතාවරණය සහ රජයේ ස්ථාවරය පැහැදිලි කර තිබූ අතර, එහි අන්තර්ගත කරුණු පදනම් කරගෙන නඩු විභාගය ඉදිරියට ගෙනයාම අවශ්‍ය නොවන බව පෙත්සම්කාර පාර්ශ්වය ද පිළිගනු ලැබුවා.
කෙසේවෙතත් අද (12) දින අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, දෙපාර්ශ්වයේම එකඟත්වය මත පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළා.



