ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට එරෙහිව පවරා ඇති දූෂණ චෝදනාවලට අදාළව, මහාධිකරණයෙන් නොතීසි ලැබුණු වහාම එහි පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ, සැකකරුට එරෙහිව දැනටමත් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බවයි.
ඒ අනුව, මහාධිකරණයෙන් නොතීසි නිකුත් වූ පසු එහි පෙනී සිටින ලෙසට සැකකරුට නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම නියෝගයෙන් අනතුරුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට ද විනිසුරුවරයා පියවර ගෙන තිබෙනවා.
2017 සහ 2018 වර්ෂවලදී මාස හයක කාලයක් සඳහා ඉන්ධන මිල දී ගැනීමට තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් මඟින් ඉන්ධන ලබා ගැනීම තුළින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 800ක පමණ පාඩුවක් සිදුකිරීම සහ ඊට අනුබල දීම ධම්මික රණතුංග මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.



