ඇල්බේනියාවේ අධිකරණයක විභාග වෙමින් පැවැති නඩුවක විත්තිකරු විසින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුට වෙඩි තබා ඝාතනය කොට ඇතැයි වාර්තා වේ.
දේපළ ආරවුලක් සම්බන්ධව පැවති නඩුවක් විභාග වෙමින් තිබියදී විත්තිකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මෙසේ ඝාතනය වී ඇත්තේ, ඇස්ට්‍රිට් කලාජා නම් වන අභියාචනාධිකරණ විනිසුරුවරයා බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
තිස් හැවිරිදි වියේ පසුවන සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකරු නඩු විභාගයට සහභාගී වූ පියෙකුට සහ පුතෙකුට ද වෙඩි තබා ඇති බවත් ඔවුන් දෙදෙනා ද රෝහල ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇල්බේනියාවේ අගමැති එඩි රාමා විසින් විනිසුරු කලාජාගේ පවුලට සිය ශෝකය පළ කරමින් “විනිසුරුවරයාට එරෙහිව සිදුකළ සාපරාධී අපරාධයට උපරිම දඬුවම් හිමි වනු ඇතැයි” ප්‍රකාශ කර ඇති අතර මෙම ඝාතනය අධිකරණ අභ්‍යන්තර ආරක්ෂක පද්ධතිය පිළිබඳ අවධානය යොමු කරවන බව ද සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.



