වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති නිල්වලා ගඟ “නිදි කරවූවා” සේ මල්වතු ඔය, කලා ඔය සහ මහවැලි ගඟ ද නිදි කරවන්නට කටයුතු කළ යුතුව තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසීය.
පවතින ගංවතුර ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි උපහාසයට ලක් කරමින් පාර්ලිමේන්තුව අමතා මෙලෙස චෝදනා එල්ල කළේය.
හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එක් ගඟක් නිදි කරවා මල්වතු ඔය ගුවනින් මඩකලපුවට ගෙන ගිය බවත්, එසේ කළ හැකි අමාත්‍යවරයෙකු සිටියදී සෙසු ගංගා ටික නිදහසේ ගලා යන්නට ඉඩ දී රටට විනාශයක් වන්නට ඉඩ හැරීම කණගාටුදායක බව මන්ත්‍රීවරයා උපහාසාත්මකව කියා සිටියේය.
ආපදා අවස්ථාවකදී පවා ආණ්ඩුව පරණ කුණු ගොඩදමමින් දේශපාලනය කිරීමට උත්සාහ කරන බවත්, දැන් කළ යුත්තේ පරණ දේවල් හාර හාරා සිටීම නොව ආපදාවෙන් ජනතාව ගොඩගන්නා ආකාරය ගැන සාකච්ඡා කිරීම බවත් ඔහු අවධාරණය කළේය.
නිල්වලා ගඟ නිදි කරවූවා සේ සෙසු ගංගා මඟින් සිදුවන විනාශය නතර කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත්, පවතින විනාශය හමුවේ ආණ්ඩුව නිහඬව සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව සතු දුර්වලතාවය වසා ගැනීම සඳහා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා වෙනුවට විපත්තියට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් මැදිහත් විය යුතු බවද හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.



