පසුගිය ඔක්තෝබර් මස 10 වන දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ දී පොලිස් කොස්තාපල්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක අතර ඇති වූ සිද්ධියට අදාළව තමන්ට සමථ විය නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඊයේ (නොවැ. 17) කියා සිටියහ.
පසුගිය නොවැම්බර් 8 වන දා සමථ මූල මණ්ඩලය වෙත දෙපාර්ශ්වය ම කැඳවා තිබුණ ද පොලිස් කොස්තාපල්වරයා පමණක් සමථ මූල මණ්ඩලයට පැමිණි බව ත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක නොපැමිණි බව ත් සාක්ෂි සම්පිණ්ඩන වාර්තා හයක් සමග වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස පොලිසිය පවසා සිටියේය.
පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය මගින් පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී තැටි හා බන්ධනාගාර බස් රථයේ ඇති කැමරාවෙන් පටිගත වී ඇති දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටද විමර්ශන නිලධාරීන් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණියගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පවසා සිටියේ, සිද්ධිය පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩීපට සමග සිද්ධිය පටිගත කරන ලද කොස්තාපල්වරයාට අයත් ජංගම දුරකතනය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටයි.
ජංගම දුරකතනය රස පරීක්ෂක වෙත ලබා නොදෙන්නේ නම් මෙම පටිගත කරන ලද තැටිද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට තමන් ඇතුළු නීතිඥ කණ්ඩායම විරුද්ධ වන අතර රජයේ රස පරීක්ෂකවරයා වෙත මෙම සීඩී තැටි යොමු කරන්නේ නම් එය පොලිස් නිලධාරීන් විසින් නොව අධිකරණ නිලධාරියෙකු මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටයි.
මේ වන විට පොලිස් කොස්තාපල්වරයා ස්ථාන මාරුවක් ලබා නුවර ප්‍රදේශයේ රාජකාරි කිරීම හා මෙම ජංගම දුරකතනය ඔහුගේ පෞද්ගලික දුරකතනය බැවින් එය රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු නොකළ බව විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ පැවැසීය.
තවද පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය මගින් බාගත කරන ලද දර්ශන ඇතුළත් සීඩීපට තුන දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.
මෙම නඩුවට අදාළව එකී දර්ශන ඇතුළත් වීඩියෝ සාක්ෂි ප්‍රබල සාක්ෂියක් වන බවත් අදාළ සීඩී තැටි හා ඩීවීආර් යන්ත්‍රය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් නම් කරන ලද අධිකරණ නිලධාරියකු විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට අදාළ ජංගම දුරකථනයද පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් ඇත්තේද යන්න අධිකරණ නිලධාරියා මගින් එදිනම සංදේශයක් මඟින් අධිකරණයට දන්වන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
ඒ අනුව, සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට එරෙහිව ඇති නඩුව පෙබරවාරි මස 02 වන දිනට නැවත කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර නිලධාරියා සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය ඔක්තෝබර් 10 වන දා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණ ද එම වෛද්‍ය වාර්තාව මෙතෙක් අධිකරණය වෙත නොලැබී ඇති බව මහේස්ත්‍රාත්වරිය පැවසීය.
මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර ඇත්ද යන්න පිළිබඳව විමසා බන්ධනාගාර අධිකාරිවරයා විසින් නොවැම්බර් 19 වන දා අධිකරණය වෙත ලිඛිතව කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
පොලිස් කොස්තාපල්වරයා මේ වන විටත් නුවර ප්‍රදේශයේ පොලිස් රාජකාරියේ නියුතුව සිටින හෙයින් ඉතාමත් ඉක්මණින් මානසික රෝග සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව කැඳවන ලෙසටත් ඒ වෙනුවෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඕනෑම අවස්ථාවක සහාය දීමට අපේක්ෂාවෙන් සිටින බව ද සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම නඩුව නැවත නොවැම්බර් මස 19 වන දා කැඳවීමට නියමිතයි.



