පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දෙසැම්බර් මස 17 දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාව අද (සැප්තැම්බර් 11) පැවති පාර්ලිමේන්තු න්යාය පත්රයට ඇතුළත් කර තිබුණ අතර එය ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස ඉදිරිපත් කළේය.
මෙම තේරීම් සභාවට මේ වනවිට මාස 9ක කාලයක් ගතවී ඇති අතර එය තවත් මාස 3ක කාලයකින් කල් දැමීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ එම කාරක සභාව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා නොව එය කල් දැමීම සඳහා කටයුතු කරමින් සිටින බැවින් එයට විරෝධය දක්වමින් එම කාරක සභාවෙන් ඔහු ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් ඉවත් වූ බවයි.
එමෙන්ම එම කාරක සභාවේ සාමාජික ශානක්කියන් රාසමානික්කම් මන්ත්රීවරයා ඒ සම්බන්ධයෙන් සිය විරෝධය දැක්වූ අතර අජිත් පී පෙරේරා ඇතුළු තවත් මන්ත්රීවරුන්ද විරෝධය දක්වනු ලැබීය.
විපක්ෂ නායකවරයා එම යෝජනාව සම්බන්ධයෙන් ඔවුන් විරුද්ධ වන නිසා යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලූ අතර යෝජනාව සම්මත වී ඇති බැවින් ඡන්දයක් ලබාදීමට නොහැකි බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස පැවසීය.
එහිදී නලින් බණ්ඩාර මන්ත්රීවරයා පැවසුවේ ඔහු එම යෝජනාව සම්බන්ධයෙන් බේදීමක් ඔහු ඉල්ලූ බවයි. එහෙත් මුලසුනේ සිටි නියෝජ්ය කථානායකවරයා පැවසුවේ එම යෝජනාව සම්මත වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ වාද විවාද පැවැත්වෙමින් පවතිණි.



