ප්‍රසන්න රණතුංගට ඇප

සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුට ගත් හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (12)  නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුට ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල්  ලක්‍ෂක මුදල් ඇපයක් අධිකරණයෙන් නියම කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියම කළා.

සිද්ධියට අදාල සැකකාර අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අද (12) දහවල් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වර්ධන කාර්‌යාංශය, ශ්‍රී ලංකා හෝටල් කලමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහි සේවකයින් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා ගැනීමේදී සිදුව ඇති වංචාවකට අදාලව සැකකාර හිටපු අමාත්‍යවරයා එසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබා ගැනීමට හැකිව තිබිය දී “මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්” නැමැති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කරගෙන ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්නුවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රු.4,750,828.72 (රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙක) ක මුදලක් අදාල තැරැවිකාර සමාගම වෙත ගෙවීමට සලස්වා එයින් එම තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදු කිරීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ඔහුව එසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වමින් පැවසූවා.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළා.

උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, වජිර  අබේවර්ධන,ප්‍රසන්න රණවීර, සාගල රත්නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  ඇතුලු හිටපු  සහ වත්මන් මැති ඇමතිවරුන් රාශියක් අධිකරණයට පැමිණ සිටියා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *