හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කර තිබෙනවා.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා බලශුන්‍ය කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රිට් පෙත්සමක් මහතා ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම අද ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විනිසුරුවරුන් පෙන්වාදුන්නේ, මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව, මෙවැනි පෙත්සමක් පවත්වාගෙන යාමට නෛතික හැකියාවක් නොමැති බවයි .
ඒ අනුව විත්තිකාර පාර්ශ්වයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය නියෝග කළා.
සන්දීප් සම්පත් නමැති තරුණයා බරපතළ අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චම්පික රණවක මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, එම නඩුවෙන් තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම යොමු කර තිබුණා.



