2004 සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්ව පසුව යළි යථා තත්ත්වයට පත් කෙරුණු, පැරෑලිය දුම්රිය අනතුරේ නිහඬ සාක්ෂිකරු වූ “M2 – 591” අංක දරන සුනාමි දුම්රිය එන්ජිම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙවර සමරු ධාවනයට එක් කිරීමට නොහැකි වී තිබේ.
සුනාමි ඛේදවාචකයට වසර 21ක් සපිරෙන අද (26) දිනයේ, එම අනතුර සිහිපත් කරමින් සංකේතාත්මකව මෙම එන්ජිම ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කලින් සැළසුම් කර තිබුණි. එහෙත් අද උදෑසන එම එන්ජිම පරීක්ෂා කිරීමේදී එහි ‘ඇක්සලයේ’ (Axle) හටගෙන තිබූ බරපතළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ධාවනයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
වසර කිහිපයක් අඛණ්ඩව සමරු ධාවනය සඳහා මෙම විශේෂ එන්ජිම යොදා ගත්තද, මෙවර මතුවූ දෝෂය හමුවේ වෙනත් එන්ජිමක් යොදා ගනිමින් “සුනාමි සැමරුම් දුම්රිය” නියමිත පරිදි පෙරවරු 6:30 ට මරදානෙන් මාතර බලා ධාවනය කරවීමට කටයුතු කෙරිණි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මගී ආරක්ෂාව සහ තාක්ෂණික ගැටලු සලකා බලා මෙම තීරණය ගත් බවත්, අලුත්වැඩියාවෙන් පසු ඉදිරියේදී එම එන්ජිම යළි ධාවනයට එක් කරන බවත්ය.



