අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුවක් අවලංගු කර තිබෙනවා.
මෙම සමුළුව සඳහා බුඩාපෙස්ට් නුවර ස්ථානයක් ලෙස යෝජනා වී තිබුණා.
ජනාධිපති ට්රම්ප් තම තීරණය පැහැදිලි කරමින් කියා සිටියේ, “ඒක හරියාවි කියලා මට හිතුණේ නෑ. අප යා යුතු තැනට යන්න අපට පුළුවන් වේවි කියල හිතුණේ නෑ. ඒ නිසා මම ඒක අවලංගු කළා, නමුත් අපි එය අනාගතයේදී ඒක කරනවා” යනුවෙන්.
ට්රම්ප් තවදුරටත් කියා සිටියේ, තමාට කිව හැකි එකම දෙය නම්, “තමා පුටින් සමඟ කතා කරන සෑම අවස්ථාවකදීම හොඳ සංවාද ඇති වුණත් ඊට පස්සේ ඒවා කොතැනකටවත් යන්නේ නැහැ” යන්නයි.
මෙම අවලංගු කිරීමට සමගාමීව, යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාම ක්රියාවලියක් සඳහා රුසියාව බරපතල කැපවීමක් නොදැක්වීම හේතුවෙන්, අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව රුසියාවට එරෙහිව සම්බාධක ඉහළ නැංවීමට නියමිත බව නිවේදනය කළා.
භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් සඳහන් කළේ, ක්රෙම්ලින් යුද යන්ත්රයට අරමුදල් සපයන රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට අමෙරිකාව විසින් සම්බාධක පනවන බවයි.
සම්බාධක පනවා ඇති ඉලක්කගත සමාගම් වන්නේ රොස්නෙෆ්ට් සහ ලුකෝයිල් යි.
ලේකම් බෙසෙන්ට් වැඩිදුරටත් කියා සිටියේ, මෙම තෙල් සමාගම් දෙක රුසියානු යුද යන්ත්රයට අරමුදල් සපයන බවයි.



