පුරාවිද්‍යා පුවරු ඉවත් කළ සැකකරුවන් සිව්දෙනාටම ඇප

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සිව්දෙනෙකු අද (25 වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුවය.

එහිදී වාලච්චේන මහේස්ත්‍රාත් එම්. අයි. අහමඩ් රතිප් මහතා නියෝග කළේ සැකකරුවන් එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මඩකලපුව, වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 04ක් මින් පෙර යොදවා තිබුණි.

පසුව වාලච්චේන පොලීසිය විසින් ඊයේ (24) සවස සිද්ධියට අදාළ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු අද වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට සිටි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති සුන්දරලිංගම් සුදාකරන්, උප සභාපතිනිය වන කුලන්දවේල් පද්මනිදන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද සිවරාසා, සිදම්බරන් පිල්ලේ, ෂන්මුගනාදන් යන සිව් දෙනා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නීතීඥ එම්. ඒ සුමන්දිරන් මහතා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය.

මෙහිදී මෙම නඩුව විභාගයට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුවරු සවි කිරීමේදී පළාත් පාලන ආයතන දැනුවත් කරන ලෙසත් ගලවන ලද නාමපුවරු දෙපාර්ශ්වය සාකච්ඡා කර දෙසැම්බර් මස 15 වැනි දින වන විට සවිකරන ලෙසත් නියෝග කළේය.

පසුව සැකකරුවන් පස්දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව එළැඹෙන 15 වැනි දින යළි කැඳවීමටද නියෝග කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *