“පුලුවන්නම් මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න..”

හැකිනම් තමාව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ජාතික ව්‍යසනය ජනාධිපතිවරයාගේ නොසැලකිල්ල නිසා සිදුවූවක් බව ඔප්පු කිරීමට හැකි කරුණු 14 ක් තමන් ඉදිරිපත් කරමින් ඔහුව විවේචනය කළ බවත් ඒ අනුව වටගල නියෝජ්‍ය ඇමතිවරයාට තමාව අත්අඩංගුවට ගැනීමට අවස්ථාව දැන් උදාවී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාව විවේචනය කරමින් ඔහුට බැණ වදින අය අත්අඩංගුවට ගන්නා ලෙස සුනිල් වටගල ඇමතිවරයා

පොලිසියට ප්‍රසිද්ධියේ උපදෙස් ලබා දුන් බව හෙතෙම පැවසීය.

සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යයට කරුණු දක්වමින් මේ බව සඳහන් කළ උදය ගම්මන්පිල මහතා තවදුරටත් කියා සිටියේ මේ මහා ජාතික ව්‍යසනය සිදුවූයේ ජනාධිපතිවරයාගේ නොහැකියාව නිසා බවයි.

සත්‍ය කරුණක් මත ජනාධිපතිවරයා විවේචනය කරන කෙනෙක් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බව පවසන ඒ මහතා එහෙම හැකියාවක් තිබේ නම් තමාව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස ඉල්ලා සිටියේය.

ජාතික ව්‍යසනය ජනාධිපතිවරයාගේ නොසලකිල්ලල නිසා සිදුවූ බව සනාථ කිරීමට අවශ්‍ය කරුණු 14 ක් තමා ඉදිරිපත් කළ බවත් එම කරුණු තුළින්

ජනාධිපතිවරයා දැඩිව විවේචනය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

සුනිල් වටගල ප්‍රකාශ කරන පරිදි පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් ඔවුන් රඳවා තැබීමට රටේ පාසල් සියල්ල බන්ධනාගාර බවට පත්කර ගත යුතුව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ කිසිවක් සුනිල් වටගල මහතාට පවරා නැති බව පවසන උදය ගම්මන්පිල මහතා ඔහු කිසිදු බලයක් හිමි නොවූ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පමණක් බව සඳහන් කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *