පසුගියදා ඇතිවුණු ආපදා තත්වය රටට දැනුම් දුන් පුද්ගලයින්ට හෝ මාධ්‍ය ආයතනවලට දඬුවම් කිරීමට උත්සහ කිරීම සාධාරණ නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබදෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම, සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමඟ ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කර තිබුණා.
එහිදී ඔහු කියා සිටියේ, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් එම පොලිස් නිලධාරියාට පහර දී ඇතත්, මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඒ වෙනුවට මෙම සිද්ධිය පිළිබඳව රටට දැනුම්දුන් මාධ්‍ය ආයතන මර්දනය කිරීමට උත්සහ දරණ බවයි.
මන්ත්‍රීවරයා පැවසුවේ, මෙම මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලවා ඒ පිළිබඳව රටට දැනුම්දීම පොලිස්පතිවරයාට ලැජ්ජාවක් නොමැති බවයි.
එමෙන්ම, ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට හෝ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශවරයා බවට පොලිස්පතිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මේ වන විට පත්වී ඇති බවත් ඔහු සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,
“ආණ්ඩුව මේ කාරණය පිළිබඳව අර සීරියස් අරගෙන නෑ කියන්නේ. අන්න ඒ වගේ. මේක විහිළුවකට අරගෙන් තියෙන්නේ. මේක ආණ්ඩුව තමන්ගේ දේශපාලනය කරන්න උත්සාහ කරනවා. දැන් යම් නාලිකාවක මේ පිළිබඳව සාකච්ඡාවක් තියලා ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරා නම්, ඒ වගේම ඒ ඉදිරිපත් කළේ මේ රටේ රාජ්‍ය වගකිය යුතු නිලධාරියෙක් නම්, ඒ නිලධාරියා මීට පෙර තමන්ගේ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය නායකයා දැනුවත් කරලා තියෙනවා නම්, ඇයි ක්‍රියාත්මක නොවුනේ? ක්‍රියාත්මක නොවී ඒ පිළිබඳව රටට දැනුම් දීපු පුද්ගලයෝ අල්ලගෙන දඬුවම් කරන්න උත්සාහ කරන එක සාධාරණ නෑ. හැබැයි ඉතින් ඒ හැමෝම මතක තියා ගත යුතුයි එක මාධ්‍ය ආයතනයකට තර්ජනය කරාම ඊළඟ මාධ්‍ය ආයතනයට එනවා.
දැන් අපි දැක්කා පහුගිය දිනක මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගංජා හේනක් වවලා තිබ්බා. හැබැයි ගංජා හේන අල්ලන්න ගියපු පොලිසියේ නිලධාරියට පහර දුන්නා. අනිත් එක්කෙනාව ස්ථාන මාරු කරා. පහර දීලා ගුටි කාපු කෙනා හිරේ ගිහිල්ලා තියෙනවා. අර ‘ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා’ වගේ. ගුටිකාපු කෙනා හිරේ. ගහපු කෙනා එළියේ. ගංජා හේනේ අයිතිකාරයත් එළියේ. අල්ලපු නිලධාරියා හිරේ. ගහපු මන්ත්‍රීත් එළියේ. හැබැයි ඒ පිළිබඳව රටට ලෝකෙට දැනුවත් කරා කියලා මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. පොලිසියේ පොලිස්පතිවරයටත් ලැජ්ජ නැහැ තමන්ගේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා දම්මලම මේ කාරණය පිළිබඳව රටට කියන්න. මොකද මේ හංදියක් හංදියක් ගානේ වෙඩි තියලා මනුස්ස ජීවිත නැති කරනවා සංවිධානාත්මක අපරාධකරුවාන්. ඒවා හොයන්න වෙලා නෑ. අනිත් පැත්තෙන් පොලිසියේ ගෞරවය ආරක්ෂා කරන පොලිස් නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කරන පොලිස්පතිවරයා හෝ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා මැදිහත් වෙන්නේ නෑ. හැබැයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට නැත්නම් ජේ.වී.පී එකේ මාධ්‍ය ප්‍රකාශවරයා බවට පොලිස්පතිවරයා සහ පොලිසිය මාධ්‍ය ප්‍රකාශවරයා පත්වෙලා තියෙනවා…”



