‘බලය තිබේ නම් පළාත් සභා ඡන්දය තියන්න’ – පොහොට්ටුවෙන් අභියෝගයක්

තවදුරටත් මේ රටේ භූමියේ බලය තිබෙනවා කියා සිතනවා නම් වහා ම පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවට පෙන්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ආණ්ඩුවට අභියෝග කළේ ය.

පසුගිය දා නුගේගොඩදී පැවති රැලියට සහාය දුන් සැමට ස්තූතිය පළ කිරීමට කොළඹදී ඊයේ (නොවැ. 24) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම අභියෝගය කළේ ය.

ජ.වි.පෙ. ප්‍රධාන මාලිමා ආණ්ඩුවේ බලය තවදුරටත් මේ රටේ භූමියේ පවතින්නේ නැතැයි යන පණිවිඩය පසුගිය 21 වන දා ජනතාව ලබා දී ඇතැයි ද ඔහු පැවසීය.

අනුර කුමාර ජනාධිපතිතුමනි, ඔබලාගේ බොරුවට මේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැහැයි කියන උත්තරය ජනතාව පැහැදිලිව ලබා දී තිබෙන බව ත් ටිල්වින් සිල්වාගේ මර්දනයට රාජ්‍ය සේවකයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරී සංවිධාන බය වෙන්නේ නැහැ කියන පණිවිඩය ද 21 වන දා මේ රටේ ජනතාව ලබා දී තිබෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා හිතනවා නම් මේ රටේ තවදුරට ත් භූමියේ බලය යම්තාක් හරි තියෙනවා කියලා පෙන්වීමට පළාත් සභා ඡන්දය වහා ම පවත්වන ලෙසත් එසේ නොමැති නම් ඔබ පරාජය පිළිගෙන අවසන් යැයිද කීය.

විපක්ෂයේ දෙවන රැලිය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ත් ඊට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලු බලවේගයන්ට තමන් සමග එකතු වන්නැයි සහෝදරාත්මක ආයාචනය කරන බව ත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.

විදුලිය කපලා, ස්පීකර් ගලවල මඩ ගහලා මේ රටේ ජනතාවගේ හදවත තුළ බුර බුරා නඟින ආණ්ඩු විරෝධය පාලනය කිරීමට පුළුවන් කියා සිතනවා නම් ජනාධිපතිවරයාට වැරැදිලා යැයිද ඔහු පැවසීය.

එක අතකට මිනිසුන්ගේ බෙලි කපා ලයිට් කණුවල එල්ලපු පිරිස ලයිට් කණුවල තණකොළ මිටි එල්ලීම සිස්ටම් චේන්ජ් එකක් කියල පිළිගැනීමට සූදානම් යැයිද ඔහු සඳහන් කළේය. ආණ්ඩුවේ අනේකවිධ අපහාස, අවලාද, බාධා මැද නුගේගොඩට පැමිණි මහා ජන ගංගාවට විපක්ෂයේ ප්‍රණාමය පුද කරන බවද සාගර කාරියවසම් සඳහන් කළේ ය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *