අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ගොස් ඇති අතර, අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ ගොස් ඇත.
මේ අතර බස්නාහිර පළාත තුළ ධාවනය වන ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරයට රුපියල් 110ක් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 90ක මිලක් ලබාදෙමින් ගාස්තු ඉහළ නැංවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද තීරණය කළේය.
ඉන්ධන මිල යළිත් වරක් ඉහළ ගිය පසුබිමක ඊට සමගාමීව බස් ගාස්තුද 15%කින් ඉහළ නංවන ලෙස බස් සංගම් ඊයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඉන්ධන මිල ඉහළ යාමෙන් බස් ගාස්තුවට 10% කට වැඩි බලපෑමක් සිදුව ඇති අතර ඒ පිළිබඳ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට යොමු කරන බවය.
එවන් පසුබිමක ඇතැම් පෞද්ගලික බස් හිමියන් ඊයේ රාත්‍රියේ රාත්‍රියේ සිටම ධාවනයෙන් ඉවත්ව සිටි අතර, ඒ අනුව අද පෙරවරුවේද ධාවනය කෙරුණේ බස්රථ සීමිත ප්‍රමාණයක් පමණයි.
බස්රථ නිසි පරිදි ධාවනය නොවීමෙන් පාසල් දරුවන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවට පත්වුණි.
අද සාමාන්‍ය පරිදි ධාවනය වූ ඇතැම් බස් රථවලද දැඩි මගී තදබදයක් දක්නට ලැබුණි.
ගාල්ල නගරයෙන් ආරම්භ වන දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සඳහා ජනතාව අද පෙරවරුවේ දිගු පෝලිම්වල රැඳී සිටියේ ය.
මේ අතර අම්පාර බස් නැවතුම්පොළේ සිට සෙසු නගර වෙත ධාවනය වන පෞද්ගලික බස් රථ රැසක් ධාවන කටයුතුවලින් ඉවත්වුවද,අම්පාර සිට මාතර දක්වා ධාවනය වන බස් රථයක් පිටත්වීමට සූදානම්වී තිබුණි.
එහිදී වෙනත් බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක් එම බස් රථයේ රියදුරුට පහරදිමට උත්සාහ කිරිමත් සමගම ඇතිවුයේ උණසුම් තත්ත්වයක් ඇති වුණි.
බස් ගාස්තු සංශෝධනය වූ මිල ගණන් පහතින් දැක්වේ.



