බැසිල් රාජපක්ෂ ගැන ඇමති ආනන්ද කට අරී..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර සහ කොටුව අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර ඇතත්, ඔහු දිගින් දිගටම අධිකරණය පැහැර හරිමින් සහ මග හරිමින් සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා රටෙන් පැන ගොස් සිටින්නේ තමන් කළ අපරාධ හෙළිවේ යැයි පවතින බිය සහ නීතියට ඇති බිය නිසා බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම වරෙන්තු නිකුත් කර ඇති බවත්, ඉදිරි නඩු දිනයේදී ඔහු අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස කළ යුත්තේ අධිකරණයට ඉදිරිපත් වී තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම මිස, මහජන දේපළ කොල්ලකා නීතිය මගහැර සිටීම නොවන බවද ඔහු කියා සිටියා.

කෙසේවෙතත් “බැසිල් රාජපක්ෂ හැංගිලා නැහැ” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා කරන ප්‍රකාශ පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය විජේපාල මහතා සඳහන් කළේ, ඔහු සැඟවී නැත්නම් අධිකරණය වරෙන්තු නිකුත් නොකරන බවයි.

නාමල් රාජපක්ෂ මහතා නොදැන සිටියද, බැසිල් රාජපක්ෂ මහතා නීතියට ඇති බිය නිසා සැඟවී සිටින බව මුළු රටම දන්නා කරුණක් බව ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඔහුට දැන් පැවරී ඇත්තේ අධිකරණය හමුවට පැමිණ තමාට එරෙහි වරෙන්තුව ඉවත් කරවා ගැනීම බව පැවසූ අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස පොලිසිය විසින් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි.

දේශපාලනඥයෙක්ද නැද්ද යන්න හෝ පුද්ගලයාගේ තරාතිරම කුමක්ද යන්න ශ්‍රී ලංකා පොලිසියට අදාළ නොවන බවත්, වරෙන්තු ලැබූ ඕනෑම අයෙකුට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

පිටරටවල සැඟව සිටින වරෙන්තුකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පැහැදිලි කළ අමාත්‍යවරයා, මෙරට නඩු විභාග සඳහා අවශ්‍ය පුද්ගලයන් සොයා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා ‘බ්ලූ නෝටිස්’ නිකුත් කරන බව ප්‍රකාශ කළා.

.එමෙන්ම අපරාධ නීතිය යටතේ ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අවශ්‍ය සියලු නීතිමය පියවර ගන්නා බවද ඔහු පවසනවා.

රාජපක්ෂවරුන්ගේ අතීත පාලනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මොවුන් රට බංකොලොත් කළ පාලකයන් බව අධිකරණය පවා තීන්දු කර ඇති බවයි.

ජනතාව ඔවුන්ව රටෙන් පන්නා දැමූ අතර දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඔවුන් දැනට සිදුකරන විවිධ ප්‍රකාශ පිළිබඳව කලබල විය යුතු නැති බවත්, ඒවා කෙරෙහි සැලකිල්ලක් දැක්වීමට අවශ්‍ය නොවන බවත් ආනන්ද විජේපාල මහතා පවසනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *