වර්තමානයේ බුදුදහම ආරක්ෂා කර ගැනීමට සිදුව ඇත්තේ අන්‍යාගමිකයන්ගෙන් හෝ ගිහියන්ගෙන් නොව, ශාසනය තුළ සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලාගෙන්ම බව පූජ්‍ය කැළණියේ ශාසනවංශ හිමියන් පවසනවා.
වත්මන් සමාජය තුළ බුදුදහම දැඩි ලෙස විකෘති වෙමින් පවතින බව පෙන්වා දුන් ශාසනවංශ හිමියන්, බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට එල්ල වී ඇති ලොකුම තර්ජනය වත්මන් භික්ෂූන් වහන්සේලාම බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතු බව සඳහන් කළා.
ලෝක ඉතිහාසය තුළ මේ ආකාරයෙන් ධර්මය විකෘති කළ වෙනත් කාලවකවානුවක් තිබුණේද යන්න සැක සහිත බවද උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.
මේ හේතුවෙන් වර්තමානයේ පවතින ප්‍රධානම වගකීම සහ අභියෝගය වන්නේ, විවිධ මතවාද පතුරුවන භික්ෂූන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේව සහ ධර්මය බේරා ගැනීම බව පූජ්‍ය කැළණියේ ශාසනවංශ හිමියන් අවධාරණය කරනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,
“අද මට පේන විදියට බුද්ධාගම රැකගන්න ඕනේ ගිහියන්ගෙන් නෙවෙයි, කතෝලික මිනිස්සුන්ගෙන් නෙවෙයි, මුස්ලිම් මිනිස්සුන්ගෙන් නෙවෙයි, හින්දු මිනිස්සුන්ගෙන් නෙමෙයි හාමුදුරුවරුන්ගෙන්. බුදුහාමුදුරුවන්ට තියෙන ලොකුම තර්ජනය භික්ෂූන් වහන්සේලා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මං දන්නෑ මේ විදිහට විකෘති කරන කාල සීමාවක් තව තිබ්බද කියලා ලෝකේ. අපි ඉස්සර පුංචි කාලේ කොහේ හරි පන්සලක බණ කොලයක් ගත්තොත් හාමුදුරුලා මහ පිරිසක් හිටියා. ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හාමුදුරුවෝ, කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ, මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ උන්වහන්සේලා ඔක්කොම කිව්වේ බුදු බණ. අද හාමුදුරුවරු දහයක් ගෙනාවොත් බණකට දහ දෙනා කියන්නේ දෘෂ්ටි දහයක්. එක්කෙනෙක් කියලා යනවා බුදුහාමුදුරුදෝ ලංකාවේ කියලා. තව කෙනෙක් බුදු වෙන්න උත්සාහ කරන්න පුළුවන් කියලා එක එක දෘෂ්ටිවලින්. අද ඔක්කෝටම ඉස්සෙල්ලා ගලවගන්න ඕනේ බුදුරජාණන් වහන්සේව හාමුදුරුලගෙන්.”



