බොන්ඩයි වෙරළේ වෙඩික්කරුවන් පිය – පුතු බව හෙළිවෙයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩයි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාරය පිය – පුතු දෙපලක් විසින් සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පොලිස් වෙඩි පහරින් මියගිය පියාගේ වයස අවුරුදු 50 ක් වන අතර බරපතල තුවාල ලැබූ නවීඩ් අක්‍රම් නමැති පුත්‍රයා 24 හැවිරිදි වියේ පසුවන බවයි.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 40 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

1996 වසරේදී පුද්ගලයින් 35කට මරු කැඳවූ ටස්මේනියාවේ වෙඩි ප්‍රහාරයෙන් පසුව මෑත කාලයේ එරට සිදුවු මාරාන්තිකම වෙඩි ප්‍රහාරය මෙය ලෙස සැලකෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර සංචාරක ආකර්ෂණ ඉහළ වෙරළ තීරයක් වන බොන්ඩයි වෙරළ තීරයේදී යුදෙව් ජාතිකයින්ගේ හනුක්කා නම් සැමරුම් උත්සවයක් එරට වේලාවෙන් ඊයේ පස්වරු 5ට පමණ ආරම්භ වී තිබුණා.

පස්වරු 7ට පමණ වෙඩික්කරුවන් දෙදෙනෙකු බොන්ඩයි වෙරළ තීරයේ පාලම මත සිට ඒ ආසන්න ප්‍රදේශයේ සිටි ජනතාවට වෙඩි තබා තිබුණා.

වෙඩි තැබීමත් සමඟ ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ වෙඩික්කරුවන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එරට ආරක්ෂක අංශ සඳහන් කළේ මියගිය වෙඩික්කරුගේ මෝටර් රථයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇති බවයි.‍

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ටේ්‍රලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස් මෙය යුදෙව් විරෝධී ක්‍රියාවක් ලෙස හදුන්වාදී තිබුණා.

එමෙන්ම, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ද ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙය යුදෙව්වන්ට එරෙහි කුරිරු ප්‍රහාරයක් ලෙස හැඳින්විය හැකි බවයි.

එසේම මෙම දැවැන්ත යුදෙව් විරෝධී රැල්ලට එරෙහිව සටන් කරන ලෙස ඔහු ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *