ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් හැඳුනුම්පතක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඊයේ (28) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.
එහිදී ඇය අවධාරණය කළේ සිය නමින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත යොමු කර ඇති නම වෙනස් කිරීමේ අයදුම්පතෙහි දැක්වෙන අත්අකුරු හෝ අත්සන තමාගේ නොවන බවයි.
අදාළ අයදුම්පත ඉදිරිපත් කළ බව කියන දිනයේ තමා මෙරට පවා නොසිටි බවත් විදේශගතව සිටි බවත් මහාධිකරණ විනිසුරු නදී අපර්ණා මහත්මිය ඉදිරියේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් විත්තිකාරිය වැඩිදුරටත් කියා සිටියා. .
තමා අවස්ථා දෙකකදී නම සංශෝධනය කර ඇති බව ඇය අධිකරණයට දැනුම්දුන්නා.
එනම් මුල් නම “ඩයනා සමන්මලී” ලෙස පැවති අතර, 2013 වසරේදී එය “ඩයනා නටාෂා කැකණදුර” ලෙස වෙනස් කෙරුණූ බව ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
පසුව සිය පියාගේ වාසගම භාවිතා කරමින් එය “ඩයනා ගමගේ” ලෙස යළි සංශෝධනය කළ බව ඇය සඳහන් කළා.
එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපිගොනුවේ සඳහන් නුගේගොඩ, ස්ටේෂන් පාරේ ලිපිනයෙහි තමා කිසි දිනක පදිංචිව සිට නැති බවත්, ඇතුල්කෝට්ටේ අම්ගම්පිටිය පාරේ ලිපිනයෙහි පදිංචිව සිටින බවත් ඇය පෙන්වාදී තිබෙනවා.
තවද අදාළ අයදුම්පතට අමුණා ඇති දුරකථන බිල්පත් සම්බන්ධයෙන් විමසූ විට, එම කාල වකවානුවේදී තම නිවසේ රැහැන් සහිත දුරකථනයක් තිබුණේ ද යන්න මතකයේ නොමැති බව ඇය සඳහන් කළා.
විත්තිකාරියගේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු විත්ති පාර්ශවයෙන් අතිරේක සාක්ෂිකරුවන් සිටින්නේ දැයි අධිකරණය විමසා සිටියා.
සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන බව විත්තිය පැවසුවද, මීට පෙර ලබා දී තිබූ නියෝගය අනුව සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මහත්මිය පෙන්වාදුන්නා.
මේ අනුව ලබන සතිය තුළ සාක්ෂිකරුවන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය විත්ති පාර්ශවයට නියෝග කළා.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව දැන දැනම, නීත්‍යානුකූලව නම වෙනස් කර නොතිබියදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රවටා හැඳුනුම්පතක් ලබා ගැනීමට කූට උප්පැන්න සහතිකයක් සකස් කිරීම ඇතුළු චෝදනා මත නීතිපතිවරයා විසින් අධිචෝදනා තුනක් යටතේ ඇයට එරෙහිව නඩු පවරා තිබුණා.
2004 වසරේදී ව්‍යාජ හැඳුනුම්පතක් මගින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වනවා.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස සමාජ ක්‍රියාකාරී ඕෂධ හේරත් සහ ආගමන විගමන නිලධාරීන් ඇතුළු පිරිසක් නම් කර ඇති අතර, ලේඛන රැසක් ද සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා.



