පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධි සහතිකය ගැන එල්ල වන චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අද (19) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා.
ඒ අනූව මේ වන විට අධිකරණය හමුවේ ද නඩුවක් ගොනු කර ඇති බවත්, මඩ ගැසීම වෙනුවට උසාවියට කරුණු වාර්තා කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.
මින් පෙරද ආන්දෝලනාත්මක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනා.
ඒ අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි සමන්ත තුෂාර විසිනි. ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වංචනිකව නීතිවේදී විභාගයට පෙනී සිට නීතිවේදී උපාධිය ලබාගෙන ඇති බවයි.
එදිනම නීතිවේදී විභාගය සඳහා පෙනී සිටි, මේ වනවිට විදේශගතව සිටිනා තරුණයෙකු විසින් එවකට නාමල් රාජපක්ෂ මෙලෙස වායුසමනය කළ තනි කාමරයක අසුන් ගෙන, විභාගයට පෙනී සිටීම සම්බන්ධව රටේ සියළුම වගකිවයුතු අංශ වෙත පැමිණිලි කර තිබුන බවත්, නමුත් එම සෑම ස්ථානයකින්ම අදාල පැමිණිල්ල හෝ සටහන් කර නොගෙන එය ප්‍රතික්ෂේප කර තිබුන බවටද අනාවරණයක් සිදු කලා.
පසුව අදාල තරුණයා පැහැර ගැනීම්වලට පවා ලක්වී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවී ඇති බවත්, පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටිනා බැවින් එම සාක්ෂි ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරනා ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කරමින් සිටියා.



