“මම Facebook යන්නේ නැත්තේ ඒකේ ඉන්නේ මෝඩයෝ නිසා..”

වත්මන් රජය පරාජය කිරීම සඳහා විපක්ෂයේ සියලු බලවේග එකට එකතු විය යුතු බවත්, එම කණ්ඩායම් අතර ජාතිවාදීව සිතන, හොරු, මංකොල්ලකාරයෝ හෝ දූෂණ චෝදනා ඇති පිරිස් සිටිය හැකි බවත් යනුවෙන් මෑතකදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (05) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින දේශපාලනඥයින් ඉලක්ක කර ගනිමින් මර්දනයක් දියත් කර ඇති බව ඔහු සඳහන් කළා.

එහිදී ඔහු කියා සිටියේ, තමන් එදා සිදුකළ ප්‍රකාශයෙන් අදහස් කළේ ආණ්ඩුව විසින් විපක්ෂයේ සිටින සියලුම දෙනාට ‘හොරෙක්, මංකොල්ලකාරයෙක්, ජාතිවාදියෙක්, ත්‍රස්තවාදියෙක්’ යනුවෙන් විවිධ ලේබල් අලවා සිරගත කිරීමට කටයුතු කරන්නේ නම්, අවසානයේ විපක්ෂය ලෙස එක්ව වැඩ කිරීමට කිසිවෙකු ඉතිරි නොවන බවයි.

සමාජ මාධ්‍ය ජාලාවල මේ සම්බන්ධයෙන් පළවන විවේචන පිළිබඳවද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, තමන් ෆේස්බුක් පරිශීලනය නොකරන්නේ එහි බුද්ධිමත් ලෙස සටන් කරන පිරිසක් නොමැති නිසා බවද මෙහිදී ඔහු පැවසුවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“දැන් මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? මේ ආණ්ඩුව කරන්නේ විවිධ අයව අල්ලගන්නවා. උදාහරණයක් මම ගත්තොත් සුගීෂ්වර බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නේ. කොළඹ මහා දවාලේ පාර මැද්දේ වාහනය නතර කරලා ඔහුව පටෝගෙන යනවා. මේ වගේ විපක්ෂයේ ඉන්න හැම කෙනාම අරගෙන එක්ක ඔහු ජාතිවාදියෙක් වෙනවා, එක්කෝ ඔහු හොරෙක් වෙනවා. එක්කෝ ඔහු අනික් පැත්තෙන් අපරාධකාරයෙක් බවට පත්වෙනවා නැත්නම් කුඩුකාරයෙක් බවට පත්වෙනවා, නැත්තම් ත්‍රස්තවාදියෙක් බවට පත්වෙනවා. මේ කරුණු 3 මත දේශපාලකයින් විශාල ප්‍රමාණයක් ඇතුකට තල්ලු කරමින් දවස ගාණේ ඉන්නවා. එතකොට මම හිරෙක් වෙලා යන්නේ. එතකොට කවුද මාව නිදහස් කරන්නේ. ඉතින් ඒක තමයි මං මේ කාරණයක් විදියට කිව්වේ. මම facebook යන්නැත්තේ මොකද මෝඩයෝ ටිකක්නේ ඒකේ ඇතුලේ ඉන්නේ. බුද්ධිමත් මිනිස්සු සටන් කරන භූමියක් නෙවෙයි ඒක.ඒකාබද්ධ අපේ විපක්ෂයේ ඉන්න සියලුම අයව අරගෙන මේකට දාන්න පුළුවන්. දැම්මට පස්සේ ඔහුට හම්බෙන්නේ මොනාද? ඔහු හොරෙක්, ඔහු මංකොල්ලකාරයෙක්, ඔහු කුඩුකාරයෙක් දැන් ඔය හැම එක්කෙනාම අරගෙන දැම්මට පස්සේ අපි කවුරු එක්කද වැඩ කරන්නේ? විපක්ෂය හැටියට අපි කවුරු එක්කද වැඩ කරන්නේ?”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *