සමගි ජන බලවේගය නොමැතිව, විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ එක්ව කොළඹ නිපොන් හෝටලයේදී අද (01) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. කෙසේ වෙතත්, මෙම මාධ්‍ය හමුව අවසානයේ අදහස් දැක්වූ නායකයන්ගෙන් ප්‍රශ්න විමසීමට හෝ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදුන් බවද වාර්තා වේ.
මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සර්ව ජන බලය වෙනුවෙන් රජිත හපුආරච්චි යන අය අදහස් දැක්වූ අතර හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී ඇත.
මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වජිර අබේගුණවර්ධන ෆේස් බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙම මාධ්‍ය හමුව Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂවල නායකයින්ගේ සංකල්පයකට අනුව, රටේ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා මාලාවේ තවත් එක් මාධ්‍ය හමුවක් බවයි.
විශේෂයෙන්ම මාළිමා රජයේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙල සහ ඉන් ඉදිරියේදී රටේ ජනතාවට මුහුණදීමට සිදුවන පීඩාකාරී තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස මාධ්‍ය හමුවේදී සාකච්ඡා කළ බවත් මෙවැනි මාධ්‍ය හමු මගින් රටේ ජනතාව දැනුවත් කිරීම ඒ්කාබද්ධ පොදු විපක්ෂයේ අරමුණයි බවත් ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මෙහිදී අදහස් දක්වමින් රාජිත සේනාරත්න පවසා සිටියේ NPPයට ඡන්දය දුන් බොහෝ පිරිස් තම ඡන්දය ලබා දී ඇත්තේ අනුර කුමාර ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසය තබා ගෙන බවයි. ලෝකයේ කිසිදු වාමාංශික පක්ෂයක් කිසි විටෙක පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය නොඉල්ලන නමුත් ”අනුර ඔබ අමතයි”, අනුර දිනවමු වැනි පාඨයන් මගින් අනුර දිනවීම අරමුණු කරගෙන මෙහිදී මැතිවරණ ප්‍රචාරණයන් ගෙන ගිය බවත් ඔහු එහිදී පවසා සිටියා. නමුත් බාල ගල් අඟුරු ගෙන්වීම සහ එම වංචාව නිසා අනුර කෙරෙහි පැවති විශ්වාසය දැන් බිඳ වැටී ඇති බව රාජිත සේනාරත්න පවසා සිටියා.
විදුලි ගාස්තු වැඩිවීමට හේතුව ආණ්ඩුවේ ගල් අඟුරු වංචාවයි
වත්මන් රජය සිදුකළ ගල් අඟුරු වංචාව හේතුවෙන් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුව ඇති බවත්, මේ නිසා එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ජනතාවට සුබදායී නොවනු ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියේ රජය විසින් සිදුකළ ගල් අඟුරු වංචාව මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමට සෘජුවම බලපා ඇති බවයි. අනුර කුමාර දිසානායක මහතාගේ රජය විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් ගෙන දෙනු ඇතැයි පෙන්වා දෙන චම්පික රණවක, මෙය මහජනතාව පිට පටවන ලද අසාධාරණ බරක් බවද සඳහන් කළේය.
රජය විසින් සමස්තයක් ලෙස 13.5% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා තිබුණද මහජන උපයෝගීතා කොමිසම එය 10.5% ක් දක්වා සීමා කර ඇති නමුත්, ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා එම බිල 13.5% කින්ම ඉහළ දමා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා 8.7% කින් ගාස්තු ඉහළ දැමීම හරහා සමස්ත කර්මාන්ත පද්ධතියම දරුණු අර්බුදයකට ලක්වනු ඇති බවට අනතුරු ඇඟවූ ඒ මහතා, එළඹෙන අලුත් අවුරුදු සමය මහජනතාවට කිසිසේත්ම සුබදායී නොවනු ඇති බවද ප්‍රකාශ කළේය.
ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා හැරීමේ නායකත්වය ජනාධිපතිවරයා විසින් ගෙන ඇති බව ප්‍රකාශ කළ පාඨලී චම්පික රණවක , එම ආයතනයෙන් ඉවත් වීම සඳහා සේවකයින් 2,000කට ආසන්න පිරිසක් මේ වන විට එකඟතාව පළ කර ඇති බව සඳහන් කළේය. මෙම සේවකයින් වෙනුවෙන් ඉදිරිපත් වූ විශේෂ විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම විසින් සැලකිල්ලට ගනු ලැබුවද, එහි පිරිවැය මෙවර විදුලි ගාස්තු සංශෝධනයට ඇතුළත් කර නොමැති බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
අවුල් හවුලේ සජිත් නැත්තේ ඇයි?
සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය මෙම මාධ්‍ය හමුවට සහභාගී නොවීම පිටුපස ප්‍රධාන දේශපාලන කරුණු කිහිපයක් පවතින බව පෙනී යයි. විශේෂයෙන්ම පාඨලී චම්පික රණවකගේ එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර මෑතකාලීනව නිර්මාණය වී ඇති දේශපාලන දුරස්ථභාවය මෙන්ම, විපක්ෂයේ පොදු සන්ධානයක් ගොඩනැගීමේදී එහි නායකත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පවතින එකඟතාවන්ගේ හිඟකම මෙයට ප්‍රබල ලෙස බලපා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම වෙනත් කුඩා පක්ෂ සමඟ සමාන මට්ටමින් එක්ව කටයුතු කරනවාට වඩා, තම පක්ෂයේ සෙවණ යටතේ අනෙකුත් පාර්ශව ඒකරාශී කර ගනිමින් ස්වාධීන අනන්‍යතාවයක් පවත්වා ගැනීමට සමගි ජන බලවේගය උත්සාහ කිරීමද මෙම තීරණයට හේතු වී ඇති බව පැවසේ.
නාමල් පොහොට්ටුව මිසින්
නාමල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම ඒකාබද්ධ වේදිකාවේ දක්නට නොලැබීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ එම පක්ෂය සහ පාඨලී චම්පික රණවක හෝ වජිර අබේවර්ධන වැනි නායකයන් නියෝජනය කරන දේශපාලන මතවාදයන් අතර පවතින ප්‍රතිපත්තිමය පරස්පරතාව විය හැකිය.
එසේම පොහොට්ටුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විටත් විවිධ දේශපාලන කණ්ඩායම්වලට බෙදී රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශව වෙත සහාය පළ කරමින් සිටීම වැනි අභ්‍යන්තර බෙදීම්ද මෙයට හේතු වී ඇති බව පැවසේ. මීට අමතරව, විදුලි ගාස්තු ඉහළ යාම සහ ගල් අඟුරු වංචා වැනි සංවේදී මාතෘකා සාකච්ඡා කිරීමේදී පසුගිය පාලන සමයන්හි වගකීම් දැරූ පොහොට්ටු නියෝජිතයන්ටද සෘජුව විවේචන එල්ල වීමේ අවදානමක් පවතින බැවින්, ඔවුන් මෙවැනි මාධ්‍ය හමුවලින් ඈත් වී සිටීමට තීරණය කර ඇති බව පෙනී යයි.
එළඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා හෝ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව පවතින රහසිගත තරඟය මෙම අසමගියට ප්‍රධාන හේතුවකි. එක් එක් නායකයා තම දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කිරීම නිසා, පොදු ජාතික අර්බුදයකදී පවා (විදුලි ගාස්තු වැනි) සියලු විපක්ෂ කණ්ඩායම් එකම වේදිකාවකට ඒකරාශී වීම බාධාවක් වී තිබේ.
නායකත්ව අරගලය සහ දේශපාලන තරඟය
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන බලවේග අතර පවතින නායකත්ව අරගලය සහ දේශපාලන තරඟය මෙම ඒකාබද්ධතාවය බිඳවැටීමට ප්‍රබල හේතුවක් වී ඇති බව දක්නට ලැබේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස තමන් සතු නායකත්වය තහවුරු කර ගැනීමට වෙහෙසෙන පසුබිමක, පාඨලී චම්පික රණවක තම එක්සත් ජනරජ පෙරමුණ හරහා විකල්ප බුද්ධිමය නායකත්වයක් සමාජගත කිරීමට උත්සාහ කිරීම මෙම නායකත්ව ප්‍රතිරූප දෙක අතර ගැටුමක් නිර්මාණය කර ඇත.
එමෙන්ම රනිල් වික්‍රමසිංහට හිතවාදී වජිර අබේවර්ධන වැනි නායකයන් චම්පික රණවක සමඟ අත්වැල් බැඳගැනීම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට එල්ල වන සෘජු අභියෝගයක් ලෙස පෙනී යන අතර, නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ සිය පක්ෂ අනන්‍යතාවය රැකගැනීමේ අරමුණින් මෙවැනි සන්ධානවලින් ඈත් වී සිටීමද කැපී පෙනේ. අවසාන වශයෙන්, ඉදිරි දේශපාලන ගමනේදී විපක්ෂයේ පොදු නායකත්වය දරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙම ප්‍රබල නායකයන් අතර පවතින රහසිගත තරඟකාරීත්වය හේතුවෙන් ඔවුන් එකම වේදිකාවකට පැමිණීම මගහැරී ඇති බව පැහැදිලිය.



