මාපිය දූදරු සබැඳතා බිඳින නීති එපා – කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් රජය විසින් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේදී, බටහිර ලෝකයේ ඇතැම් නීති ශ්‍රී ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි අවධාරණය කරයි.

කාදිනල් හිමි මේ බව ප්‍රකාශ කළේ නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවති සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමිනි.

යෝජිත නීතිය මගින් දරුවා සහ දෙමාපියන් අතර ඝට්ටනයක් ඇති කරන බව පෙන්වා දෙන කාදිනල් හිමි, එමගින් ගුරුවරුන්ගේ තත්ත්වය කෙබඳු වේදැයි ප්‍රශ්න කළේය.

එහිදී උදාහරණයක් ලෙස උන්වහන්සේ මෙසේ පැහැදිලි කළේය.

“පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ‘ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න’ කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් ‘මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා’ කියලා. මෙහෙම කියලා ගුරුවරයාව අත්අඩංගුවට ගන්න පුළුවන් ලු. ඒක වැරදි වැඩක්. මේවා අපිට පිළිගන්න බෑ.”

බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කොම ලංකාවට නොගැලපෙන බව අවධාරණය කළ කාදිනල් හිමි , මෙරටට ආවේණික සංස්කෘතියක්, ක්‍රමවේදයක් සහ ආචාර ධර්ම ඇති බවත්, අප ඒවාට ගරු කළ යුතු බවත් පැවසීය.

මෙහිදි කාදිනල් හිමි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටියේ “කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා” කියාය. තවද, “දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවට බාධා නොකරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *