පොලිසිය මාලිමා ආණ්ඩුවෙන් බේරා ගැනීම සඳහා ජනතාවට පෙරට එන ලෙසට පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය නිතීඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.
අද (22) දින කොළඹදී පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මේ බව පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේද පැවසුවා.
ගංජා වැවීම පිළිබඳ චෝදනා ලබා සිටින ශාන්ත පද්මකුමාර මන්ත්‍රිතුමා පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිදුවීම පිළිබඳ දෙපාර්ශවය කියන්නේ කතා දෙකක්. මන්ත්‍රිතුමා කියන විදියට පහර දීමක් සිදු වුණේ නෑ. පොලිස් නිලධාරියාගේ නම තමන් විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කිරීම සම්බන්ධයෙන් ඔහු තමන්ට බැණ වැදුනාම එතැන වචන හුවමාරුවක් පමණයි සිදුවුණේ. මේක මන්ත්‍රිතුමාට එරෙහිව කුමන්ත්‍රණයක්.
මුලින්ම ගංජා වගාව වැටලීමේ දී පොලිස් නිලධාරින් ඉඩමේ වැඩ කරන සේවකයින්ගෙන් කැමරා ඉදිරියේ ප්‍රශ්න කරනවා මේ ඉඩම කාගේ ද කියලා. එතකොට සේවකයින් කියනවා ශාන්ත මහත්තයාගේ කියලා. ඒ කියන්නේ වත්තේ සේවකයින් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ද?
ඊළඟට පහර කෑමට ලක් වුණ පොලිස් නිලධාරියා සූරියවැව රෝහලට ඇතුළත් කර ගත්තේ ඇයි? බරපතල ගැටළුවක් නැතිනම් සූරියවැව රෝහලෙන් ඇඹිලිපිටිය රෝහලට මාරු කළේ ඇයි? ඒ කියන්නේ සූරියවැව රෝහලේ වෛද්‍යවරුන් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ද? පහර දීමක් සිදුවෙලා නැති නම් ඇඹිලිපිටියේ වෛද්‍යවරු පොලිස් නිලධාරියාව රෝහලට ඇතුළත් කර ගත්තේ ඇයි? එහෙම නම් ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරුන් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ද? දීස් ආ ඔෆ්කෝස් බිග් කුච්චන්ස්.
පාර්ලිමේන්තු මැතිවරණ සමයේ වල් පැල ගලවා මල් පැල හිටවමු කිව්වාම ජනතාව මීට වඩා ප්‍රවේශම් විය යුතුව තිබුණා. මොකද ගොළු භාෂාවෙන් ගංජාවලට කියන්නේ මල්නෙ. දැන් බැලින්නම් “මල් පැල හිටවමු” කියලා තිබෙන්නේ ගංජාකාරයින් පාර්ලිමේන්තු ගේමු කියන සාධාරණ සැකය දැන් අපිට ඇති වෙනවා .
නම පොඩ්ඩක් බලන්න. ශාන්ත පද්මකුමාර. පද්ම කියන්නේ මලක්නෙ. පද්මකුමාර කියන්නේ මල් කුමාර කියන එකයි. ශාන්ත භාවය මනසට ගෙන එන මල ගංජා හැර වෙන කුමක්ද? මීට පස්සේ මාලිමාවට ඡන්දය දෙන්න කලින් රහස් පද බිඳීමේ විශේෂඥයෙක් වන ඩාවින්චි කෝඩ් නවකතාවේ එන රොබට් ලැන්ග්ඩන් ලවා මාලිමාවේ මැතිවරණ තේමා පාඨයේ සැඟවුණු අර්ථය අසා ගන්න ඕනෑ. නැතිනම් නැවත වතාවක් ජාතියට වරදීවි.
ඒ වගේම මේ ආණ්ඩුවේ බයිට් එකට පොලිසිය ගැනීමට එරෙහිව ජනතාව පෙළ ගැසෙන්න ඕනි. දැන් රන්වල මැතිතුමා වාහන අනතුරක් සිදුකළාම අනතුර කළ රන්වල මන්ත්‍රීතුමාට අධික රුධීර පීඩනය මහා බලගතු ප්‍රශ්නයක් නෙමෙයි. පොඩ්ඩක් රුධීර පීඩනය වැඩි වුණාලු. රිය අනතුරක් වුණාම එක පැත්තකින් තුන්වන පාර්ශවයකට තුවලයි. තමන් දරුවෙක් වගේ බලා ගන්න වාහනයටත් හානි. නිකම්ම රැධීර පීඩනය වැඩි වෙනවා. හදගැස්ම වැඩි වෙනවා. එහෙම නොවන කෙනෙක් ඉන්නවා නම් එයා මනුස්සයෙක් වෙන්න බෑ. ඒක ඉතාම සාමන්‍ය දෙයක්. රන්වල මන්ත්‍රීවරයා දැන් සතියකට ආසන්න කාලයක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. හැබැයි ඒ අවස්ථාව සම්බන්ධයෙන් වැරැද්ද කරපු මන්ත්‍රීවරයාට එරෙහිව කිසිම චෝදනාවක් නෑ. සපුගස්කන්දේ පොලිස් නිලධාරින්ට එරෙහිව විනය පරීක්ෂණ. ඒ වගේම ශාන්ත කුමාර මන්ත්‍රිතුමාගේ කියන ගංජා වගාව වටලන්න ගිය පොලිස් නිලධාරින්ගෙන් එක් කෙනෙක් පහර කාලා රෝහලේ. තව කෙනෙකුට වහාම ස්ථාන මාරු.
නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරින්ට එරෙහිව මාලිමා මර්දනය මුලින්ම දියත් වුණේ 2025 ජූනි මාසයේ දී වැලිපැන්නේ පොලිසියෙන්. වැලිපැන්න පොලිසිය කසිප්පු වැටලීමක් සිදුකළාම ඒ අයව නිදහස් කරන්න කියලා මාලිමා මන්ත්‍රි සංජීව රණසිංහ වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති චාමින්ද ද සිල්වාට දුරකතනයෙන් කතා කරලා දැනුම් දෙනවා. එතැනින් නවතින්නේ නැතිව දුරකතනය කසිප්පු වැටලීම කළ සාජන්ට්වරයාට දෙන්න කියලා එයාටත් බැණ වදිනවා. ස්ථානාධිපතිවරයා මේ සිද්ධිය පොලිස් පොතේ ලියලා සටහන් දාන්න සාජන්ට්වරයාටත් උපදෙස් දෙනවා. මේක ප්‍රසිද්ධියට පත් වුණාම මාලිමාව මොකද කරන්නේ? මන්ත්‍රිවරයාට දඬුවම් කරනවා ද? නෑ. වැලිපැන්න ස්ථානාධිපතිවරයාට ස්ථානධිපති ධූරයත් අහිමි කරලා ඇල්පිටිය පොලිසියට මාරු කරනවා.
යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.



