මාලිමාවේ මන්ත්‍රීවරු 159 දෙනාම වැලිකඩ යන්න සූදානම් වෙන්න

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනා මහජන මුදල් අවභාවිත කර බරපතල වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔවුන් සියලු දෙනාට මීළඟ ආණ්ඩුවක් යටතේ නියත වශයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳීමට සිදුවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මන්ත්‍රීවරුන්ට තම පෞද්ගලික ආදායම තමන් කැමති පරිදි භාවිත කිරීමට නිදහස තිබුණද, කාර්යාල, ඉන්ධන, සන්නිවේදන සහ ප්‍රවාහනය වැනි කටයුතු සඳහා ලබාදෙන දීමනා අපේක්ෂිත පොදු අරමුණු සඳහා පමණක් වියදම් කළ යුතු බව ඔහු පැහැදිලි කළේය.

එම මුදල් රජය වෙන්කර ඇත්තේ යම් නිශ්චිත කටයුත්තකට බැවින් එම කටයුත්තෙන් පිට එම මුදල් යෙදවීම පවතින නීතිරීති උල්ලංඝනය කිරීමක් සේම එය පොදු දේපොළ අපහරණයක් බව උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතීන්ගේ වැටුප් හා දීමනා ඔවුන්ගේ පක්ෂ අරමුදලට බැරවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ උදය ගම්මන්පිල මහතා තවදුරටත් කියා සිටියේ වැටුප් හා දීමනා පක්ෂ ගිණුමට බැර කිරීම හරහා ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා හිතා මතාම පොදු දේපොළ පනත උල්ලංඝනය කර ඇති බවයි.

එලෙස කටයුතු කිරීම මහජන මුදල් අවභාවිතයකට සමාන බව පවසන උදය ගම්මන්පිල මහතා එය කිසිසේත්ම ඇප දිය නොහැකි වරදක් බව පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරුන්ට හිමිවන කාර්යාල, ඉන්ධන, සන්නිවේදන සහ ප්‍රවාහනය වැනි කටයුතු සඳහා ලබාදෙන දීමනා පොදු ගිණුමකට බැර කිරීම තහනම් කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබෙන අතර
අද ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොවුනත් 2029 වසරේදී නියත වශයෙන්ම වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනාට වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් වෙන් කරගැනීමට සිදුවනු ඇති බව උදේ ගමන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *