ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් අලුතින් හඳුන්වා දීමට නියමිත ත්රස්තවාදය වැළැක්වීමේ පනත, කාලයක් තිස්සේ විලි රුදාවෙන් පසුව බිහි කළ “නයි පැටියෙකු” වැනි බවත්, ඌ ලොකු මහත් වූ පසු මුළු මහත් සමාජයටම දෂ්ට කරනු ඇති බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව ප්රකාශ කළේය.
කොළඹදී පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මර්දන නීති අහෝසි කරන පොරොන්දුව පිට බලයට පැමිණි ආණ්ඩුව දැන් එම පොරොන්දු කුණු බක්කියට දමා රනිල් වික්රමසිංහ මහතා ගෙන ඒමට උත්සාහ කළ මර්දනකාරී ‘ATA’ පනතම වෙනත් මුහුණුවරකින් ගෙන එන බවයි.
දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම අහෝසි කළ යුතු බව පෙන්වා දුන් නාගමුව මහතා, මෙම පනතේ භයානකකම පිළිබඳව කරුණු ගණනාවක් අවධාරණය කළේය
ඒ අනුව සාමාන්ය නීතියට අනුව පුද්ගලයන් රඳවා තැබීමේ බලය අධිකරණය සතු වුවද, මෙම පනත මගින් එම බලය දේශපාලන අධිකාරියට සහ පොලීසියට පවරා දී ඇත.
80 දශකයේ උතුරේ තරුණයන් සහ 88-89 කාලයේ රෝහණ විජේවීර මහතා ඇතුළු 60,000කට අධික පිරිසක් ඝාතනය කිරීමට මෙම මර්දන නීති යොදාගත් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ උරුමයෙන් ආ ආණ්ඩුවම දැන් එම මර්දන දත් උල් කරමින් සිටින බවත් ඔහු පැවසීය.
පාස්කු ප්රහාරය මුවාවෙන් මුස්ලිම් තරුණයන් සිර කිරීම සහ අරගලකරුවන් මාස ගණනාවක් රඳවා තබා ගැනීමට මෙම පනත අවිධිමත් ලෙස යොදාගත් ආකාරය ඔහු මතක් කර දුන්නේය.
යෝජිත නව පනතේ ‘ත්රස්තවාදය’ අර්ථ දක්වා ඇති ආකාරය ඉතාමත් විහිලු සහගත මෙන්ම භයානක බව නාගමුව මහතා සඳහන් කළේය.
ආණ්ඩුවට යම් දෙයක් කිරීමට හෝ නොකිරීමට බල කිරීම පවා ත්රස්තවාදී ක්රියාවක් ලෙස අර්ථ දක්වා ඇති බවත්, ඒ අනුව IMF වැඩපිළිවෙළට, බඩු මිලට හෝ විදුලි බිලට එරෙහිව හඬ නැගීම ත්රස්තවාදයක් ලෙස හංවඩු ගැසීමේ අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
පසුගියදා ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් කළ ගිවිසුම් හෙළි කරන ලෙස කළ ඉල්ලීම් පවා මෙම පනත යටතේ ත්රස්ත ක්රියා ලෙස අර්ථ දැක්විය හැකි බව ඔහු පැවසීය.
රටේ සාමාන්ය අපරාධ මර්දනය කිරීමට දැනට පවතින නීති පද්ධතිය ප්රමාණවත් බවත්, මෙම මර්දනකාරී පනත වහාම හකුළා ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සහ නිදහස කොල්ලකෑමට සැරසෙන මෙම අත්තනෝමතික නීතියට එරෙහිව පෙළ ගැසෙන ලෙස දුමින්ද නාගමුව මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



