“මාස 3කින් ගල් අඟුරු චෝදනා වලින් නිදහස් වෙනවා.. අපේ පිරිසිදුකම ගැන ලෙයින් සහතික වෙනවා”

පසුගිය කාලසීමාව පුරා දැඩි කතාබහට ලක්වූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධ වංචා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද පූර්ණ අධිකරණ බලය සහිත ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව ඉදිරි මාස තුන ඇතුළත නිකුත් වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මාතර දී පැවති මැයි දින රැලිය අමතමින් ඔහු අවධාරණය කළේ, මෙම වාර්තාව හරහා තම කණ්ඩායමට එල්ල වූ සියලු අසත්‍ය චෝදනාවලින් ඔවුන් නිදහස් වන අතර, චෝදනා එල්ල කළ පුද්ගලයන්ට නීතිය හමුවේ පිළිතුරු දීමට සිදුවනු ඇති බවයි.

විමර්ශන කොමිසමේ ස්වභාවය පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් ටිල්වින් සිල්වා සඳහන් කළේ, එය ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය යන ඉහළම අධිකරණ පද්ධති නියෝජනය කරන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත අතිශය බලගතු සහ පූර්ණ අධිකරණ බලය සහිත මණ්ඩලයක් බවයි. ඈත අතීතයේ සිට මෙරට සිදුව ඇති බවට සැකකෙරෙන ගල් අඟුරු ගනුදෙනුවලට අදාළ සියලු වංචා සහ දූෂණ පිළිබඳව මෙහිදී ඉතා සූක්ෂ්ම මෙන්ම විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් සිදුකෙරෙන බවත්, ඒ හරහා සත්‍ය තොරතුරු නුදුරේදීම රට හමුවේ හෙළිවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ට එල්ල වන මූල්‍ය වංචා චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ටිල්වින් සිල්වා, තම කණ්ඩායමේ සහෝදරවරුන්ගේ පිරිසිදුකම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ලෙයින් වුවද සහතික වන බව ප්‍රකාශ කළේය. තමන්ට හොරකම් චෝදනා එල්ල කිරීමට උත්සාහ කළ පිරිස මේ වන විට ඉල්ලන් කා ඇති බව පැවසූ ඔහු, ඉදිරියේදී නිකුත් වන කොමිසම් වාර්තාව හරහා සත්‍යය හෙළි වූ පසු අසත්‍ය චෝදනා ගොනු කළ එම පිරිසට අධිකරණය හමුවේ නඩු අසන්නට සිදුවනු ඇති බවත්, ඔවුන්ට උසාවි ගානේ ලගින්නට සිදුවන බවත් දැඩිව අවධාරණය කළේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *