“මැයි මාසයේ දී දරා ගන්න බැරි විදිහට තෙල් මිල වැඩි කරන්න වෙනවා..”

මැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් මැයි මාසයේදී දරාගත නොහැකි මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යා හැකි බවට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝජනය ස්වෙච්ඡාවෙන් සීමා කරගන්නා ලෙසටයි.

ඔහු මේ බව සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අද (22) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

එසේම ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ ද ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබා දී ඇති බව පැවසූ ඔහු තවදුරටත් කියා සිටියේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සහ නෞකා සඳහා වන ආරක්ෂක ගාස්තු ඉහළ යාම නිසා මේ වන විට මෙරට ඉන්ධන මිලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

“වෙන විදිය ගැන අපි කාටවත් පුරෝකථනය කරන්න බෑ. නමුත් ළඟ ළඟ මිල වැඩිවීම් කරන්න රජයේ බලාපොරොත්තුවක් නෑ. බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට සමනය වේවි කියලා. එය තමා සුබදායි බලාපොරොත්තුව එහෙම නොවුණොත් මැයි මාසයේ පළමු දිනට යෙදෙන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක් කරන්න සිදුවේවි.”

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“යුද්ධය ගැන කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි. ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයට හෝ තදාසන්න රටවලට යුද්ධය අවසන් වෙන්නේ සතියකින්ද දෙකකින්ද කියන්න පුළුවන් කමක් නෑ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්නයි. යුද්ධය හෙට අවසන් වුවත් විශේෂයෙන් ආර්ථිකයට, තෙල් නිෂ්පාදනයට, යටිතල පහසුකම්වලට එල්ල වෙලා තියෙන බලපෑම අනුව, අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයෙන් එක මොහොතින් අවසන් වෙන්නේ නෑ. එය අප මතක තබා ගතයුතුයි.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *