දිගින් දිගට ම එල්ලවන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්රාදේශීය රෝහලේ වෛද්ය නිලධාරිනියන්ගේ ආරක්ෂාව නැති වීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කර දෙන තුරු 21 වන දා සිට ඩයගම ප්රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය කටයුතු කර තිබේ.
රෝහල වසා දැමීමට සිදුවීමේ හේතු පිළිබඳව මාධ්ය දැනුවත් කිරීම සඳහා ඊයේ (23) සවස නුවරඑළිය දිස්ත්රික් සෞඛ්ය අධ්යක්ෂ කාර්යාලය විසින් විශේෂ මාධ්ය හමුවක් පැවැත්විය.
මාධ්ය හමුවේදී අදහස් දක්වමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්රික් ශාඛා ලේකම් ජගත් දිසානායක සහ ඩයගම ප්රාදේශීය රෝහල් භාර වෛද්ය නිලධාරිනි මිනෝෂා වැලිකන්න කියා සිටියේ, වෛද්ය නිලධාරිනියන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල වී ඇති පසුබිමක පොලිසිය විසින් ආරක්ෂාව තර කරන තුරු ඩයගම ප්රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි.
වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ,
නුවරඑළිය දිස්ත්රික් සෞඛ්ය වෛද්ය අධ්යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන ඩයගම ප්රාදේශීය රෝහලේ දිගු කාලයක් පුරාවට රෝගීන් සමග බීමතින් පැමිණෙන හිතවතුන් හා සහායකයන්ගෙන් බැන තර්ජනය කිරීම් මරණීය තර්ජන එල්ල කිරීම් දිගින් දිගට ම සිදුවී ඇති අතර ඒ සෑම අවස්ථාවකදී ම වෛද්ය නිලධාරිනියන් විසින් පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා ඇති නමුත් පොලිසිය ආරක්ෂාව සැපයීමට කිසිදු පියවරක් ගෙන නැහැ.
එවන් පසුබිමක ඉකුත් 20 වන දා දීපාවලී දින රෝගියෙකු සමග පැමිණි බාහිර පුද්ගලයෙකු විසින් නිසි ලෙස ප්රතිකාර නොකරන බව පවසා වෛද්ය නිලධාරීන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන වෛද්ය නිලධාරීන් දෙදෙනාට මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඒ පිළිබඳ විමසීමක් සිදු කළ රෝහලේ රියැදුරුවරයාට රෝගියා සමග පැමිණි බාහිර පුද්ගලයා විසින් යකඩයකින් පහර දී තුවාල සිදුකර ඇත.
එදින රාත්රියේ වෛද්ය නිලධාරිවරියන්ගේ නේවාසිකාගාරයට රතිඤ්ඤා දල්වා විසිකර බාධා කිරීමට ද කටයුතු කර ඇත.
සිදුවීම සම්බන්ධව පොලිසියට පැමිණිලි සිදුකර පසුව සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා තිබී ඇති අවස්ථාවේදී ද පොලිසිය තුළ ම සිට නැවත වරක් වෛද්ය නිලධාරීවරියන්ට මරණ තර්ජන එල්ල කර ඇති බව ද ඔවුන් වැඩිදුරට ත් පවසයි.
මෙවන් පසුබිමක ආරක්ෂාවක් නොමැති රෝහලක සේවය කිරීමට අපහසු බැවින් නුවරඑළිය දිස්ත්රික් සයිට් එකේ අධ්යක්ෂ කාර්යාලයට දැනුම් දී රෝහල් වෛද්ය නිලධාරී හා කාර්ය මණ්ඩලය රෝහලින් ඉවත් වී ඩයගම ප්රාදේශීය රෝහල තාවකාලික වසා දමා ඇති බව ද ඔවුහු පවසති.
වගකිවයුතු බලධාරීන්ගෙන් හා ශ්රී ලංකා පොලිසියෙන් නුවරඑළිය දිස්ත්රික් සෞඛ්ය අධ්යක්ෂ කාර්යාලය සහ ඩයගම ප්රාදේශීය රෝහලේ වෛද්ය නිලධාරිනියන් ඉල්ලා සිටින්නේ සිය සේවාවක් සිදුකිරීමට හැකිවන අයුරින් අවශ්ය ආරක්ෂාව සපයා දෙන ලෙස ය.



