ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ චූදිත හමුදා බුද්ධි නිලධාරියෙකුට උසස්වීම් ලබාදීමට එරෙහි වීම නිසා තමන්ට මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසනවා.
අද (05) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඇය මේ බව සඳහන් කළා.
එහිදී ඇය කියා සිටියේ, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිතයෙකු වන එරන්ත රදීස් පීරිස් නමැති නිලධාරියාට බ්‍රිගේඩියර් තනතුරට උසස්වීම් ලබාදීමට එරෙහිව තමන් ජනාධිපතිවරයාට ලිඛිතව විරෝධය පළ කළ බවයි.
එම උසස්වීම අත්හිටුවීමට ජනාධිපතිවරයා පියවර ගත් පසු, ජනවාරි 16 වැනිදා තමන්ට ලැබුණු දුරකථන ඇමතුමකින් මිනී පෙට්ටියේ දිග පළල විමසමින් මරණීය තර්ජන එල්ල කළ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හෙළි කළා.
“දිග පළල දෙන්න කියලා මගෙන් ඇහුවා. මොකේ දිග පළලද ඇහුවම කිව්වේ උඹේ මිනී පෙට්ටියේ දිග පළල දෙන්න කියලා. උඹේ මිනිහත් පිම්බුනානේ, උඹත් පිම්බෙන්න එපා කියලා තර්ජනය කළා,” යනුවෙන් ඇය එම තර්ජනාත්මක හඬපටය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පැවසුවා.
ඇය පවසන්නේ, මෙම මරණීය තර්ජනය සම්බන්ධයෙන් ජනවාරි 17 වැනිදා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට පැමිණිලි කළ බවත්, ජනවාරි 19 වැනිදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන් බවයි.
නමුත් මේ දක්වා ජනාධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් හෝ හමුවීමට අවස්ථාවක් ලැබී නොමැති බව ඇය පෙන්වාදෙනවා.
අධිකරණයේ අපරාධ නඩුවක් විභාග වෙමින් පවතින පසුබිමක, එහි චූදිතයන් විසින් වින්දිතයන්ට මෙලෙස තර්ජනය කිරීම රටේ නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණ පද්ධතියට කරන අපහාසයක් බව ඇය අවධාරණය කළා.
දුරකතන හඬපටයට අනුව “නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ” යන තැනට වැඩ සිදුවන බව පෙන්වා දුන් ඇය, වසර 16ක් තිස්සේ ඇදෙමින් පවතින මෙම නඩුව අවම වශයෙන් සතියකට දින තුනක්වත් විභාග කර මෙම වසර අවසන් වීමට පෙර තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
තම ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නා තත්ත්වයක් තුළ, තමන් මේ වන විටත් මෙරට විදේශ තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් කමිටු ලිඛිතව දැනුවත් කර ඇති බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසනවා.
“මගේ දරුවන්ට තාත්තව අහිමි කළා. හෙට දවසේ මේ අපරාධකාරයින්ට මගේ දරුවන්ට අම්මවත් අහිමි කරන තැනට වැඩ සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා,”



