යෝෂිතගේ නඩුව ගැන අධිකරණයෙන් දැනුම්දීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය, ලබන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (8) දින දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දන්වා තිබෙනවා.

එහිදී යෝෂිත රාජපක්ෂ මහතා සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම නඩුවේ පළමුවන ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාවෙන් විත්තිකාරියක ලෙස නම්කර සිටි ඩේසි ෆොරස්ට් මේ වන විට නිදහස් කර ඇති බැවින් තම සේවා දායකයාට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව‍යි.

එබැවින් සිය සේවාදායකයාට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට ජනාධිපති නීතිඥවරයා සිය මූලික විරෝධතාවලින් දක්වා ඇති බව සඳහන්.

එම මූලික විරෝධතාවලට අදාළ ලේඛන ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට භාරදී ඇති බව සඳහන්.

එයට ප්‍රතිචාර ලෙස පැමිණිල්ල සඳහා පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවේ දෙවන විත්තිකාර ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩුවෙන් මුදාහරිනු ලැබුවේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් බව‍යි. අඳාළ තත්ත්වය විත්තිය විසින් සඳහන් කරන කරුණට අදාළ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම්දී තිබෙනවා.

කෙසේ වුවද මෙම මූලික විරෝධතාව පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දීමට මෙම නඩුව එළඹෙන සඳුදා කැඳවන මෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා ඇත.

එසේම නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට මෙම නඩුව එළඹෙන සඳුදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා, ඊට අදාළ විත්තියේ ස්ථාවරය අඟහරුවාදා ඉදිරිපත් කරන ලෙසත් නියම කර ඇත.

පසුව මූලික විරෝධතා පිළිබඳ නියෝගය එළබෙන 14 වන දින ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා සඳහන් කර ඇත. 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *