රජයේ සංවර්ධන ව්යාපෘතිවල ප්රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යන්ත්රණය ලෙස රාජ්ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවත් එම වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රත්නපුර දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් රාජ්ය නිලධාරීන් හමුවේ පැවසීය.
දිස්ත්රික්කයේ පතල් කර්මාන්තය ආශ්රිත ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර මැණික් ගල්වල අගය එකතු කිරීමේ රසායනාගාරයක් සහිත වෙළෙඳ මධ්යස්ථානයක් ආරම්භ කිරීමේ ව්යාපෘතිය පිළිබඳව ද සාකච්ඡා විය. එමෙන්ම රත්නපුර ගංවතුර උවදුර වැළැක්වීමට වඩාත් සුදුසු ව්යාපෘතියක ශක්යතා අධ්යයනයක් සිදු කිරීමට අවශ්ය මුදල් ලබන අය වැයෙන් වෙන් කර දීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී එකඟතාව පළ කළේය.
මේ කමිටු රැස්වීම ඊයේ(14) පෙරවරුවේ රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ප්රධාන ශ්රවණාගාරයේදී පැවත්විණි.
සංවර්ධන ව්යාපෘති වෙනුවෙන් මේ මූල්ය වර්ෂයට වෙන් කළ ප්රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා නොයැවීමට වගබලා ගන්නා ලෙස මෙහිදී නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමඟින් අවශ්ය සංවර්ධනය සිදු නොවන අතරම, මුදල් නාස්තියක් ද සිදුවන බවත්, එකම ව්යාපෘතිය වෙනුවෙන් නැවත නැවත මුදල් වෙන් කිරීමට සිදු වීමෙන් නව ව්යාපෘති ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේදී රජයේ ව්යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, එහි ශක්යතාව සහ නඩත්තුව සම්බන්ධයෙන් නිසි ඇගයුමක් සිදු නොකිරීම නිසා, එමඟින් රජයට අමතර වැය බරක් එකතු වී ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
එලෙස, ඉදිකර තිබෙන හම්බන්තොට සාර්ක් සංස්කෘතික මධ්යස්ථානය, අනුරාධපුර ශ්රවණාගාරය වැනි ගොඩනැඟිලි ගණනාවක නඩත්තුව දරා ගත නොහැකි වීම නිසා ඒවා භාර ගැනීමට ආයතනයක් නොමැති තත්ත්වයට පත්ව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම, රජයෙන් ඉදිකරන ලද සංචාරක බංගලා, තානායම්, පොදු වෙළෙඳ සංකීර්ණ වැනි ගොඩනැඟිලි පාළු අඳුරු ස්ථාන බවට පත්ව ඇති බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි ආයතන පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යෑම වර්තමානයට වඩාත් ගැළපෙන ක්රමවේදය බවද පැවසීය.
රත්නපුර දිස්ත්රික්කයේ ගංවතුර සහ නායයාම් උවදුර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එහිදී ජාතික ගොඩනැඟිලි පර්යේෂණ මධ්යස්ථානය පෙන්වා දුන්නේ, රත්නපුර දිස්ත්රික්කයේ අවදානම් සහිත ප්රදේශවල පවුල් 15,000ක් පමණ ජීවත් වන අතර, අධි-අවදානම් කලාපවල පමණක් පවුල් 2763ක් ජීවත්වන බවයි. රත්නපුරට බලපාන ජල ගැලීම් පාලනය සඳහා Dry Dam ව්යාපෘතියක් කළු ගඟේ අතු ගංගා දෙකක් යොදා ගනිමින් සිදු කිරීමට යෝජනා කර ඇතත්, ඒ සඳහා වන ශක්යතා අධ්යයනය 2014න් පසු සිදු කර නැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව රත්නපුර ගංවතුර උවදුර වැළැක්වීමට වඩාත් සුදුසු ව්යාපෘතියක් පිළිබඳව ශක්යතා අධ්යයනයක් කිරීමට අවශ්ය මුදල් ලබන අය වැයෙන් වෙන් කර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී එකඟතාව පළ කළේය.
2025 වර්ෂයට රත්නපුර දිස්ත්රික්කයේ විවිධ අමාත්යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්ය ආයතන විසින් ක්රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ප්රගතිය සහ ඒවා ක්රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
රත්නපුර දිස්ත්රික්කයේ කාන්තා සහ ළමා අපරාධ රැසක් පසුගිය සමයේ වාර්තා වී ඇති අතර ඊට අදාළව ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය. එහිදී පොලීසිය පෙන්වා දුන්නේ අනාරක්ෂිත දරුවන් හඳුනාගෙන ඔවුන් අධීක්ෂණය කිරීමේ ක්රමවේදයක් ප්රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සමඟ ඒකාබද්ධව මේ වන විට ක්රියාත්මක කර ඇති බවයි.
රත්නපුර දිස්ත්රික්කයේ මත්ද්රව්ය උවදුර පාලනයට ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා මෙහිදී විමසූ අතර, ඊට අදාළ මෙහෙයුම් දෛනිකව සිදු කරමින් යම් පාලනයක් සිදු කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙන බව පොලීසිය මෙහිදී පෙන්වා දුන්නේය.
දැනට ඌන උපයෝජනයක් සහිත ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් රත්නපුර නගරය ආසන්නයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ඵලදායී ව්යාපෘති සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් නියෝජ්ය ඇමැති සුන්දරලිංගම් ප්රදීප්, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශාන්ත පද්මකුමාර, රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති කේ. ඒ. ඩී. ආර්. ඉන්ද්රජිත් කටුගම්පල, සබරගමුව පළාත් ප්රධාන ලේකම් ඊ. කේ. ඒ. සුනීතා, රත්නපුර දිස්ත්රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහත්ම මහත්මීහුද මන්ත්රීවරුන් සහ රාජ්ය නිලධාරිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.



