රටක් පාලනය කිරීමේදී ගැටලුවකින් තොරව තිරසර ලෙස ණය ලබාගත හැකිනම් එය වඩාත් යහපත් පියවරක් බව මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
ණය ලබාගැනීම ආර්ථිකය බිඳවැටීමට හේතුවන වැරදි වැඩක් ලෙස සමාජගත කර ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, නිසි කළමනාකරණයකින් යුතුව ණය ලබාගැනීම ආර්ථිකයක නිවැරදි පැවැත්මට අත්‍යවශ්‍ය වන බවත් ඔහු පෙන්වා දෙනවා.
මීට පෙර පැවැති ආණ්ඩු ලබාගත් ණය නිසි පරිදි ආයෝජනය නොකර අවභාවිත කිරීම නිසා එහි ප්‍රතිලාභ රටට නොලැබුණු බවත්, ණය ප්‍රශ්නයක් හෝ ව්‍යසනයක් බවට පත්වුණේ ඒ හේතුවෙන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.
විවිධ පාර්ශ්වයන් චෝදනා එල්ල කළද වත්මන් රජය ණය තිරසරභාවය අත්පත් කරගෙන ඇති බවත්, ණය බර ක්‍රමිකව අඩු කරගන්නා බවත් ඔහු සඳහන් කළා.
රටේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන රැසකින් ඉදිරි දිනවලදී විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් ලැබීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“ඇත්තටම රටක් පාලනය කරනකොට ණය ලබාගන්න පුළුවන් නම් ගැටලුවක් නැතුව තිරසරව ඒක තමයි වඩාත් හොඳ. නැතුව ණය ලබාගන්න එක සමාජ ගත කරලා තියෙනවා ඒක වැරදි වැඩක්, ණය වැඩි වෙනකොට ආර්ථිකය බිඳ වැටෙනවා කියලා. කලින් ආණ්ඩු ණය ලබාගෙන ඒවා අවභාවිත කරලා එවාවල ප්‍රතිඵල ආපු නැති නිසා ණය ප්‍රශ්නයක් වුණා. ණය ව්‍යසනයක් වුණා. ණය අවභාවිත වුනා. ඒ නිසාම සමාජයේ මතයක් හැදුවා ආණ්ඩුව ණය ගන්නවා නම් වැරදි ණය ගත්තොත් ආර්ථිකය කළමනාකරණය කරන්න බෑ කියලා. සම්පූර්ණම වැරදි අදහසක්. ණය ගැනීම,ණය කළමනාකරණය කිරීම, පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා අවසරය ලබා ගැනීම, ඒ අනුව තමයි තිරසර විදියට ණය ගමන් කරනවා නම් තමයි ආර්ථිකයක් හරියට හැසිරෙන්නේ. චෝදනා ඉදිරිපත් කරාට ණය තිරසරභාවය අපි අත්පත් කරගෙන තියෙනවා. තිරසර සැලැස්ම 2026 දීම අපි අත්පත් කරගන්නවා 2032 ඉලක්කය. ඒ වගේම ඒක ක්‍රමිකව අපි අඩු කරගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදා අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා ඒ විධායක සභා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 700 අපට ලබා දේවි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුලෙදි ඩොලර් මිලියන 480ක් දක්වා අපිට ලබා ගැනීමේ ඉඩකඩ තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් ඒ අනුසාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත්. ඒ තත්ත්වයේදී අපට කිසිදු ගැටළුවක් නිර්මාණය වෙන්නේ නෑ මේවා කළමනාකරණය කරගන්න…”



