හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රයක සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දීමකින් තොරව එක්සත් රාජධානිය (UK) බලා පිටත්ව ගොස් ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.
ඒ අනුව මෙම විමර්ශන කණ්ඩායමේ පිටත්ව යාම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බව මෙන්ම විමර්ශනය භාර ජ්‍යෙෂ්ඨ CID නිලධාරීන් කණ්ඩායම පිටත්ව යාමට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නොමැත.
නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේ, නීතිපති පරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ඇතුළු දෙපාර්තමේන්තුවේ ඉහළම පෙළේ නිලධාරීන් පවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් රාජධිනිය වෙත යවන බවට නොදැන සිටි බවයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් මෙම කණ්ඩායම යැවීමට ස්වාධීනව තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරයෙකු , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් දින පහක කාලයක් සඳහා පිටත්ව ගොස් තිබේ.
එසේම මෙම නිලධාරීන් කණ්ඩායම හෙට දින (17) එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතා එවකට ජනාධිපති ලෙස සිටියදී වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ 2023 සැප්තැම්බර් මාසයේදී සිරිසේන මහත්මිය UK හි මහ කොමසාරිස් ධූරය දැරුවාය.
තවමත් එක්සත් රාජධිනියේ හි පදිංචිව සිටින සිරිසේන මහත්මියට, ප්‍රකාශය ලබා දීම සඳහා ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
මෙම සංචාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට, එය පුද්ගලික සංචාරයක් බව පවසමින් එම දෙදින සංචාරය සඳහා රුපියල් මිලියන 16.6 ක පොදු මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන කෙටි කලකට රිමාන්ඩ් භාරයේ තබා පසුව ඇප මත මුදා හැර සිටියි.



