හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ වුල්හැම්ප්ටන් උපාධි ප්රදානෝත්සවය සඳහා සහභාගී වීමට රජයේ මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ප්රමාණවත් සාක්ෂි පවතින බව කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (29) දැනුම් දුන්නා.
ඒ රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුව කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
මෙවැනි පැහැදිලි සාක්ෂි පවතිද්දීත් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම මෙතරම් ප්රමාද වන්නේ ඇයිදැයි මෙහිදී මහෙස්ත්රාත්වරයා නීතිපතිවරයාගෙන් ප්රශ්න කර සිටියා.
ඒ අනුව පවතින විමර්ශන කඩිනමින් අවසන් කර නීතිය ක්රියාත්මක කරන ලෙසට මහෙස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
එමෙන්ම රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව එල්ල වී ඇති මෙම රාජ්ය මුදල් අවභාවිත කිරීමේ පැමිණිල්ලට අදාළ පරීක්ෂණවල ප්රගතිය ලබන ජූලි මස 08 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද අධිකරණය නියෝග කළා.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ, එළඹෙන ජූලි මස 08 වනදාට ප්රථම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි.
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය ද සැකකාරියක ලෙස නම් කරන්නේ ද යන්න පිළිබඳව මේ වන විට අධ්යයනය කරමින් පවතින බව දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම්දුන්නා.
පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ධුරය දැරූ සමයේ සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයක් සඳහා ලන්ඩනය බලා යාමට රජයේ ප්රතිපාදන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය, නඩුවේ ඉදිරි විමර්ශන වාර්තාව එදිනට ඉදිරිපත් කරන ලෙස දන්වමින් නඩුව ලබන ජූලි මස 08 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.



