සම්බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් ඇතැම් මැති ඇමැතිවරුන් සිදුකරන අශීලාචාර සහ අශිෂ්ට ප්‍රකාශ වහාම නතර කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විශේෂයෙන්ම මෑතකදී ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් සංඝරත්නය සහ ආගමික නායකයන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
මහා සංඝරත්නය වනචාරීන් ලෙස හැඳින්වීම සහ ආගමික නායකයන්ට බෲස් ලී පහරවල් එල්ල කළ යුතු බවට දේශපාලන වේදිකාවල කියැවෙන ප්‍රකාශ දැඩි විවේචනයට ලක් කළ සජිත් ප්‍රේමදාස මහතා, එවැනි කතා රටක් ලෙස ඉතා පහත් තත්ත්වයක් බව පෙන්වාදෙනවා.
බෲස්ලීගේ ක්‍රියාකාරකම් පෙන්විය යුත්තේ කරාටේ තරගාවලිවල මිසක් මෙරට මහා සංඝරත්නයට හෝ පූජක පක්ෂයට එරෙහිව නොවන බවත් ආගමික නායකයන්ට නිග්‍රහ කරන මෙවැනි අශිෂ්ට ප්‍රකාශ පිළිබඳව රජය වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
ශ්‍රී ලංකාව නිරාගමික රටක් නොවන බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම රජයක වගකීමක් බව සඳහන් කළා.
“මහා සංඝරත්නයට සහ සම්බුද්ධ ශාසනයට අත තියන්න එන්න එපා කියලා අපි මැති ඇමතිවරුන්ට කියනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ගමන්ම, සෙසු ආගම්වල අයිතීන් සහ සංස්කෘතීන් ආරක්ෂා කිරීමෙන් පමණයි ජාතික සමගිය සහ රටේ ඒකීයභාවය රැකගත හැක්කේ” යනුවෙන් ඔහු එහිදී කියා සිටියා.
ඒ අනුව වගකිවයුතු අමාත්‍යවරුන් කතා කළ යුත්තේ රට තුළ වෛරය සහ ද්වේශය ප්‍රවර්ධනය කිරීමට නොව, සියලු ජාතීන් සහ ආගම් එක්සේසත් කිරීමට බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙනවා.
ආගමික නායකයන්ට නිග්‍රහ නොකර, සියලු ආගම්වල ඇති ගුණධර්ම උපයෝගී කරගෙන විනයගරුක සහ ශිෂ්ට සම්පන්න රටක් නිර්මාණය කිරීමට කැපවන ලෙස රජයෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා.



