කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ගේ බිරිඳගේ පෞද්ගලික බැංකු ගිණුමට, පක්ෂයේම සාමාජිකයෙකු විසින් වරින් වර මුදල් ආධාර ලබා දී ඇති බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය බරපතළ හෙළිදරව්වක් සිදුකර තිබේ.
දේශපාලන කටයුතු සඳහා මුදල් අවශ්‍ය බව පවසමින්, පක්ෂයේ නිල ගිණුමක් වෙනුවට අමාත්‍යවරයාගේ බිරිඳගේ පෞද්ගලික බැංකු ගිණුම ලබාදීම බරපතළ ගැටලුවක් බව උවිදු පෙන්වා දෙයි.
අදාළ ගනුදෙනු සනාථ කරන බැංකු වාර්තා කිහිපයක් ඔහු විසින් ප්‍රසිද්ධ කර ඇති අතර, තවත් බැංකු ගිණුම් කිහිපයක වාර්තා ඉදිරියේදී හෙළි කරන බව පවසයි.
අමාත්‍යවරයාගේ වත්මන් සුඛෝපභෝගී නිවස සහ ජීවන රටාව දුටු, කලක් පක්ෂයට මුදලින් උදව් කළ සාමාජිකයින් මේ වන විට දැඩි කලකිරීමට පත්ව සිටින බව ඔහු සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ අනෙකුත් නායකයින් පක්ෂ අරමුදල් සම්බන්ධයෙන් ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව පවසන ඔහු, ලාල් කාන්ත මහතාට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට සිදුවනු ඇති බව අවධාරණය කරයි.
මහජනයාට සරල ජීවිත ගැන පවසමින් දේශපාලනඥයින් මෙලෙස සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ඔහු, මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතු බවද පවසා සිටියි.
තමන් සතුව තවත් “ඔරිජිනල්” ලේඛන රැසක් ඇති බවත්, ඒවා ඉදිරියේදී එකින් එක හෙළිදරව් කරන බවත් පවසමින් උවිදු කුරුකුලසූරිය සිය සටහන අවසන් කර ඇත.



