මුදලට ලිංගික සේවා ලබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මර්දන අංශය විසින් පසුගිය සෙනසුරාදා පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය මහයායේ විනීත හිමියන් ද වන බව වාර්තා වේ.
මෙම සිදුවීමෙන් පසු, 2024 දෙසැම්බර් මාසයේ සිට උන්වහන්සේ දැරූ එම උපදේශක තනතුරෙන් පසුගිය සඳුදා ඉල්ලා අස්වී තිබේ.
32 හැවිරිදි වියේ පසුවන විනීත හිමියන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති අතර, මුදලට ලිංගික සේවා ලබාගැනීමේ සාපරාධී වරද සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
බොස්ටන් ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සමගාමීව, ප්‍රදේශයේ සිදුවන මිනිස් ජාවාරම් සහ ලිංගික ජාවාරම් මර්දනය කිරීම සඳහා බොස්ටන් පොලිසිය විසින් ‘ඔපරේෂන් රෙඩ් කාඩ්’ නමින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.
එහිදී උපායදූතයන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් විසින් වෙබ් අඩවියක පළ කරන ලද ව්‍යාජ දැන්වීමකට ප්‍රතිචාර දක්වමින්, සැකකාර හිමිනම ඇතුළු පස්දෙනෙකු මෙම ජාවාරම්කරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
පොලිස් වාර්තාවලට අනුව, අත්අඩංගුවට ගත් පිරිස විවිධ ලිංගික සේවාවන් ඉල්ලා ඇති අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් 125 සිට 400 දක්වා මුදලක් ගෙවීමට එකඟ වී තිබේ. මොවුන් බොස්ටන් ඩවුන්ටවුන්හි පිහිටි ‘මොක්සි’ හෝටලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් කිහිපදෙනෙකු සන්තකයේ ඔවුන් ගෙවීමට එකඟ වූ නිශ්චිත මුදල ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සබඳතා පිළිබඳ විධායක අධ්‍යක්ෂ පැට්‍රික් කොලින්ස් ප්‍රකාශ කළේ, පූජ්‍ය මහයායේ විනීත හිමියන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව විශ්වවිද්‍යාලයට දැනුම් දුන් බවයි.
එමෙන්ම, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පූජක/උපදේශක පූජ්‍ය එලීස් නෙල්සන් වින්ගර් ආයතනික පුවත් පත්‍රිකාවක් මඟින් සඳහන් කර ඇත්තේ විනීත හිමියන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බෞද්ධ උපදේශක තනතුර සඳහා ලබන ගිම්හාන සෘතුවේදී නවකයෙකු බඳවා ගැනීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශන අංශයේ සියලුම වැඩසටහන් බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ඇය අවධාරණය කළාය.
මේ වන විට ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ බෞද්ධ උපදේශකවරයා වෙනුවෙන් වෙන්කර තිබූ පිටුව ඉවත් කර ඇති අතර, එහි විනීත හිමියන්ගේ නම ද සඳහන් නොවේ.



