ලූවර් මහා කොල්ලයෙන් ඉස්සූ පුංචි ඔටුන්නේ ‘ලංකාවේ නිල් මැණික්’

‘ලූවර් මහා ස්වර්ණාභරණ කොල්ලයට’ හසුවූ ප්‍රංශයේ අවසන් වරට රජකම් කළ මේරි ඇමිලි රැජින සහ හෝරටෙන්ස් රැජින පැළඳි ඔටුන්නේ ශ්‍රී ලංකාවෙන් ගෙනගිය සිලෝන් සෆායර් ලෙසින් හැඳින්වෙන නිල් මැණික් 24ක් ඔබ්බවා සැකසූවක් බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පවසා තිබෙනවා.

එම කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියේ තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ඔටුන්නේ දියමන්ති 1,083ක ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව ද සඳහන්.

මෙම කට්ටලය ශ්‍රී ලංකාවේ මැණික් පතල් සහ යුරෝපයේ රාජකීයයන් අතර ඇති විස්මයජනක සම්බන්ධයට තවත් ඒක් උදාහරණයක් පමණයි.

එහි නිල් මැණික් ඔබ්බවන ලද්දේ ශ්‍රී ලංකාව සිලෝන් (Ceylon) ලෙස හැඳින්වූ කාලයේදී ය.

එම ආභරණ කට්ටලයේ තිබූ මෙම කුඩා ඔටුන්න විවාහක රැජිනියන්, කුමරියන් පළඳින ඔටුන්නයි.

ඊට අමතරව ඒම කට්ටලයටම අයත්ව තිබූ නිල් මැණික් සහිත මාලය සහ කරාබු කට්ටලයක් ද තිබූ බව පැවසෙනවා.

පැරිසියානු නිර්මාණ ශිල්පය සහ මෙම නිල් මැණික් හේතුවෙන් ප්‍රදර්ශනයේ ප්‍රධාන තාරකාවක් ලෙස සැලකුණු මෙම සෆායර් කට්ටලයේ වටිනාකම යුරෝ මිලියන 10 ත් 12 ත් එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රු. බිලියන 3.5–4.2 ලෙස සැලකෙනවා.

සොරකම් කරන ලද අනෙකුත් වස්තූන් වන්නේ  නැපෝලියන් බොනපාට් විසින් 1810 දී අධිරාජිනී මේරි-ලුවීස් වෙත තෑගි කරන ලද මරකත මාලයක් සහ කරාබුයි. එහි වටිනාකම යුරෝ මිලියන 3.7 (රු. බිලියන 1.3) ක් පමණ වනවා.

ඉයුජීනි අධිරාජිනියගේ බ්‍රෝච් එක  1600 ගණන්වල ඓතිහාසික මැසරින් දියමන්ති දෙකක් කාවද්දන ලද්දක්. එහි ඇස්තමේන්තුගත වටිනාකම යුරෝ මිලියන 5 (රු. බිලියන 1.76) වනවා.

ඉයුජීනිගේ දියමන්ති දුන්න හැඩැති බ්‍රෝච් එක1855 විශ්ව ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කරන ලද දියමන්ති 4,000 කින් යුත් පටියක කොටසක්. ලූවර් කෞතුකාගාරය එය 2008 දී නැවත ලබා ගැනීම සඳහා යුරෝ මිලියන 6.72 ක් (රු. බිලියන 2.36) ගෙවා තිබුණා.

ඉයුජීනිගේ මුතු මුකුටය මුතු 212 කින් සහ දියමන්ති 2,000 කට ආසන්න ප්‍රමාණයකින් යුක්ත වන අතර ඒහි වටිනාකම යුරෝ මිලියන 8ක් (රු. බිලියන 2.8) දක්වා ඉහළයි.

සොරකම් කරන ලද වස්තූන් අතරින් සොයා ගැනීමට හැකි වූයේ එක් අයිතමයක් පමණක් වන අතර ඒ ඉයුජීනිගේ ඔටුන්නයි. එය කෞතුකාගාරය අසලදී හානියට පත්ව හමු වූ අතර, එය සොරුන් පැන යන අතරතුර අතහැර දැමූ බව පෙනී ගොස් තිබුණා. දියමන්ති 1,354 කින් සහ මරකත මැණික් 56 කින් සමන්විත මෙම ඔටුන්නේ වටිනාකම පමණක් යුරෝ මිලියන 10 ක් (රු. බිලියන 3.5) පමණ වන බව සඳහන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *